මිතුදම් තරකර ගන්න ඉරාන විදේශ ඇමැති පාකිස්තානයේ



පළුදු වුණු හිතවත්කම් යළි අලුත් කර ගනිමින්, ඉරාන විදේශ ආමාත්‍ය හුසේන් අමීර් අබ්දොල්හියාන්, පාකිස්තානයේ ඉස්ලාමාබාද් අගනුවරට පැමිණියේය.

ඉස්ලාමාබාද් අගනුවරට ආ ඉරාන විදේශ අමාත්‍යවරයා පිළිගනු ලැබුවේ පාකිස්තාන විදේශ අමාත්‍ය ජලීල් අබ්බාස් විසිනි. ඉරානයත් පාකිස්තානයත් එක ළඟ පිහිටි රටවල්ය.

රටවල් දෙක මායිම් වන්නේ මැදිව පිහිටා ඇති බලුකිස්තානයෙනි. බලුකිස්තානයේ එක් කොටසක් ඉරානයටත්, අනෙක් කොටස පාකිස්තානයටත් අයත් වෙයි. ඉරානයත් පාකිස්තානයත් අතරේ මිසයිල හුවමාරු වී ගැටුම්කාරී තත්වයක් නිර්මාණය විය.

පළමුවෙන් පහර දුන්නේ ඉරානයයි. ඉරානය පාකිස්තාන බලුකිස්තානයේ සටන්කාමීන්ට පහර දුන් අතර, ඊට ප්‍රතිචාර දක්වමින්, පාකිස්තානය බලුකිස්තානයේ ඉරානයට අයත් ප්‍රදේශයට පහර දුන්නේය. ඉරානය පාකිස්තාන බලුකිස්තානයට පහර දුන් අවස්ථාවේ, පාකිස්තාන රජය ඉරානයට විරෝධය පාමින්, එරට ඉරාන තානාපතිවරයා පවා නෙරපා දැමීය.

කෙසේ නමුත් සාකච්ඡාවලින් පසු ගැටුම් නැවැත්වීමට පාකිස්තානයත්, ඉරානයත් එකඟවිය. පළුදු වුණු සබඳතා යළි ශක්තිමත් කර ගැනීමට පාකිස්තානයට ආ ඉරාන විදේශ අමාත්‍යවරයාට හැකිවුණු බව පැවැසෙයි. ඉරාන විදේශ අමාත්‍යවරයා පාකිස්තාන භාරකාර අග්‍රාමාත්‍ය අන්වාර් උල් හක් හමුවී සාකච්ඡා පැවැත්වූ බව ද පැවැසිණි.

(එන්.ඩී.ටීවී.)


RECOMMEND POSTS