මානුෂීය ආධාර ගන්න ආ පලස්තීනුවෝ 20 ක් මරුට



උතුරු ගාසා තීරයේ, මානුෂීය ආධාර ලබා ගැනීමට රැස්ව සිටි පලස්තීනුවන්ට ඊශ්‍රායල ගුවන් හමුදාව පහර දුන්නේය. ඊශ්‍රායල ගුවන් හමුදාව කළ එම පහරදීමෙන් පලස්තීන වැසියෝ 20 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. තුවාල ලැබූ ගණන 150 කි.

පලස්තීන සෞඛ්‍ය අමත්‍යාංශය ඊශ්‍රායලයට චෝදනා නගා ඇත්තේ, ඊශ්‍රායලය පලස්තීන වැසියන් අමු අමුවේ මරා දමමින්, තවත් සමූල ඝාතනයක් කළ බවටය. මීට පෙර අවස්ථා කීපයකදී ද ආධාර ලබා ගැනීමට රැස්වූ පලස්තීන වැසියන් ඉලක්ක කර ගනිමින් ඊශ්‍රායල හමුදාව පහර දී ඇත.

ඊශ්‍රායල පලස්තීන ගැටුම ආරම්භ වූයේ පසුගිය ඔක්තෝබර් 7 වැනිදා, හමාස් සටන්කාමීන්, ඊශ්‍රායලයට කඩා වැදී එල්ල කළ ප්‍රහාරයෙන් පසුවය. ඊශ්‍රායල හමුදාව ගාසා තීරයට පහර දෙන්නේ, හමාස් සටන්කාමීන් මුලිනුපුටා දැමීමේ අරමුණින්ය.
ඊශ්‍රායල හමුදා ප්‍රහාර හේතුවෙන් මේ වනවිට ගාසා තීරයේ පලස්තීන වැසියන් 31,341 දෙනකු මියගිය බවත්, 73,134 දෙනකු තුවාල ලබා සිටින බවත් වාර්තා වේ. 

(ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS