බයිඩන්ගෙන් ඊශ්‍රායලට අනතුරු



ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන් ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහුට අනතුරු ඇඟවීමක් කළේය. ඒ, ගාසා තීරයේ ඊජිප්තු දේශසීමාව අසල පිහිටි රෆා නගරයට පහර දීමට ඊශ්‍රායලය සූදානම් වෙද්දීය.

ගාසා තීරයේ හමාස් සටන්කාමීන් මුලිනුපුටා දැමීමට, ඊශ්‍රායලය ආරම්භ කළ යුද්ධයට, ඇමෙරිකාව කොන්දේසි විරහිතව සහාය දෙයි. ගාසා තීරයට රිසි පරිදි පහර දීමට ඊශ්‍රායල හමුදාවට ඉඩ දී බලා සිටින ඇමෙරිකන් ජනාධිපති බයිඩන් අග්‍රාමාත්‍ය නෙදන්යාහු ප්‍රමුඛ ඊශ්‍රායල රජයට දැඩි ලෙස අනතුරු ඇඟවීමක් කළ පළමු අවස්ථාව මෙයයි.

හමාස් පාලනය යටතේ පවතින ගාසා තීරය ඊශ්‍රායලයට පමණක් නොව, ඊජිප්තුවට ද මායිම් වෙයි. ඊශ්‍රායල හමුදා ගාසා තීරයේ හමාස් සටන්කාමීන් ඉලක්ක කර ගනිමින් මෙහෙයුම් ආරම්භ කළේ ගාසා තීරයේ උතුරු දෙසිනි. එසේ මෙහෙයුම් ආරම්භ කළ අවස්ථාවේ ගාසා පලස්තීන වැසියන්ට දැනුම් දුන්නේ ගාසා තීරයේ දකුණු දෙසට යන ලෙසටය.

රෆා නගරය ඇත්තේ ගාසා තීරයේ දකුණු දෙසිනි. ඊශ්‍රායල ප්‍රහාර හමුවේ පණ බේරා ගත් පලස්තීන සිවිල් වැසියන් සියලු දෙනා රෆා නගරයේ කොටු වී සිටින අතර, ඊශ්‍රායල හමුදාව රෆා නගරයට පහර දුන්නොත් මහා ජීවිත හානියක් සිදුවන බව ඇමෙරිකන් ජාතික ආරක්ෂක උපදේශක ජේක් සුලිවාන්, ජනාධිපති බයිඩන්ට පැහැදිලි කර ඇත. බයිඩන්, ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහුට අනතුරු ඇඟවූයේ ඒ නිසාය.

මේ වනවිට රෆා නගරයේ ජනගහනය, 3,00,000 සිට මිලියන 1.5  තෙක් ඉහළ ගොස් තිබේ. ඇමෙරිකාව ගාසා පලස්තීන වැසියන්ට මානුෂීය ආධාර ලබා දීම සිදු කරන්නේ ද මෙම රෆා නගරය හරහාය. රෆා නගරයට ඔබ්බෙන් ඊජිප්තුවට මායිම් වී, රෆා දේශසීමා පිවිසුම පිහිටා ඇත. ඊශ්‍රායල අග්‍රාමාත්‍ය නෙදන්යාහු, රෆා නගරයට පහර දෙන්නැයි එරට හමුදාවට අවසර දී ඇත්තේ, හමුදාව කළ ඉල්ලීමට ඊශ්‍රායල පාර්ලිමේන්තුවේ  කැමැත්ත ලබා දෙමිනි.

(ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS