දෙපාරක් කොරෝනා හැදුනොත් පඩි රහිත නිවාඩු



එන්නත් ලබා නොගෙන සෞඛ්‍ය උපදෙස් උල්ලංඝනය කරමින් හැසිරෙන රාජ්‍ය සේවකයන් ට දෙවැනි වරට 'කොවිඩ් 19' වයිරස ආසාදනය වුවහොත්, නිරෝධායනය වීමේ දී හෝ රෝහල්ගත වීමේදී හෝ ඔවුන්ට වැටුප් සහිත නිවාඩු අනුමත නොකිරීමට, එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යයට අයත් අජ්මාන් එමිරේට්ස් ප්‍රාන්ත බලධාරීහු තීරණය කර තිබේ.

අජ්මාන් එමිරේටය යනු, එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යයට අයත් ප්‍රාන්ත හතෙන් එකකි. එක්සත් අරාබි එමිරේටය නිර්මාණය වී ඇත්තේ අබුඩාබි, ඩුබායි, සාජා, අජ්මාන්, උම් අල් කුවානී, රාස් අල් කයිමා සහ ෆුජයිරා යන ප්‍රන්ත රාජ්‍යයන් එක් වෙමිනි.

මේ වනවිට එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යයේ සමස්ත ජනගහනයෙන් සියයට 99 කට 'කොවිඩ් 19' ප්‍රතිශක්ති එන්නත් ලැබී ඇතැයි එරට සෞඛ්‍ය අංශ පැහැදිලි කර තිබේ. එමිරේට්ස් වැසියන්ට ලොව පිළිගත් සියලු 'කොවිඩ් 19' ප්‍රතිශක්තිකරණ එන්නත් ලබා ගැනීමට අවස්ථාව උදා කර දීමට ද එමිරේට්ස් බලධාරීහු කටයුතු කර තිබේ.

රජය නොමිලේ ලබා දෙන එන්නත්වලට අකමැති ඕනෑ අයකුට මුදල් දී කැමැති එන්නතක් ලබා ගැනීමට හැකියාව ඇත. එසේ වුවත් එන්නත් ලබා ගැනීම ප්‍රතික්ෂේප කරන සුළු පිරිසක් සිටින බව සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි.

එවැන්නන් අතර මුහුණු ආවරණ නොපලඳින, සමාජ දුරස්ථභාවය තැකීමක් නොකරන, රාජ්‍ය සේවකයන් සිටින්නේ නම්, ඔවුන් සෞඛ්‍ය නීති උල්ලංගනය කර, දෙවැනි වරට 'කොවිඩ් 19' වයිරස ආසාදිතයකු වුවහොත් වැටුප් නොමැති නිවාඩු ලබා දීමට ආයතන ප්‍රධානීන් වගබලාගතයුතු යැයි රජය නිකුත් කළ චක්‍රලේඛනයේ සඳහන් වෙයි.

දෙවැනි වරට ආසාදිතයන් වන රාජ්‍ය සේවකයන් නියමිත දින ගණන නිරෝධායනය වීමට හෝ රෝහල්ගතව සිටීමට හෝ වාර්ෂික නිවාඩු අනුමත කරවා ගත යුතුය. එසේත් නැතිනම් වැටුප් රහිත නිවාඩු ලබා ගැනීම කළ යුතුය.

මේ වනවිට එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යයෙන් නව ආසාදිතයන් වාර්තා වීමට පටන් ගෙන තිබේ. ඒ, 'ඔමික්‍රෝන්' වයිරස ව්‍යාප්තිය හේතුවෙනි. මේ වනවිට දෛනිකව ආසාදිතයන් 2,600 ඉක්මවා වාර්තා වෙයි. ‍

(රොයිටර්)


RECOMMEND POSTS