ජෝ බයිඩන්ගෙන් ගාසා තීරයට වරායක්



ගාසා වැසියන්ට අවශ්‍ය මානුෂීය ආධාර, කඩිනමින් ලබා දීමට ගාසා තීරයේ තාවකාලික වරායක් ඉදි කිරීමට පියවර ගන්නා බව ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන් පවසයි.

ඇමෙරිකන් හමුදාව මැදිහත් වීමෙන් ඉදි කෙරෙන එම වරාය හරහා ගාසා තීරයේ පලස්තීන වැසියන්ට දෛනිකව ලබා දෙන මානුෂීය ආධාර ප්‍රමාණය වැඩි කළ හැකි යැයි ඇමෙරිකන් ජනාධිපති බයිඩන් වැඩිදුරටත් පැහැදිලි කර ඇත.

ඇමෙරිකන් ජනාධිපතිවරයා මෙසේ පැහැදිලි කළේ, ඇමෙරිකන් කොංග්‍රස් මණ්ඩලය (පාර්ලිමේන්තුව) අමතමිනි.
ඊශ්‍රායල හමුදා ගාසා තීරයට පහර දෙන්නේ, හමාස් සටන්කාමීන් ඉලක්ක කරගෙනය. මේ වනවිට ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් මියගිය පලස්තීන වැසියන් ගණන 30,000 පසු කර තිබේ. ඊට අමතරව ලක්ෂ 110,000 කට උන්හිටිතැන් අහිමි වී ඇත.

ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් ගාසා පලස්තීන වැසියන්ගෙන් හතරෙන් එකකට ආහාර නොමැති බවත්, එම පිරිස සාගතයකට මුහුණ පා සිටින බවත් පැවැසෙයි.

ඇමෙරිකන් ජනපති බයිඩන්, කොංග්‍රස් මණ්ඩලය ඇමැතූ අවස්ථාවේදී යුක්රේන රුසියන් යුද්ධය සම්බන්ධයෙන් ද බයිඩන් අදහස් දැක්වීමක් කළේය.

ඇමෙරිකාව හෝ තමන් හෝ කිසිම අවස්ථාවක රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින්ට හිස නොනමන බව ජනපති බයිඩන් අවධාරණය කළේය.

ඉන්දියාව සහ ඇමෙරිකාව අතරේ පවතින මිත්‍රත්වය තවත් ශක්තිමත් කර ගැනීමට තමන් පියවර ගන්නා බව ද බයිඩන් පැහැදිලි කළේය.

(ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS