ගාසා සරණාගත කඳවුරකට ප්‍රහාරයක්



ගාසා තීරයේ ඛාන් යූනිස් නගරයේ සරණාගත කඳවුරකට එල්ල වූ ඊශ්‍රායල හමුදා ප්‍රහාරයකින්, පලස්තීන වැසියෝ 9 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. තුවාල ලැබූ ගණන 75 කි. කාන්තාවන් සහ කුඩා දරුවන් බොහෝ දෙනකු තුවාල ලැබූ පිරිස අතරේ සිටින බව පැවැසෙයි.

මෙම සරණාගත කඳවුර, එක්සත් ජාතීන්ගේ පලස්තීන සරණාගත ඒජන්සිය මැදිහත් වී, ගාසා පලස්තීන වැසියන්ට රැකවරණය දීමට පිහිටුවන ලද්දකි. ඊහ්‍රායල හමුදා කඳවුරට පහර දී ඇත්තේ, එහි හමාස් සටන්කාමීන් සිටින බව පවසමිනි. 

මීට අමතරව, ගාසා තීරයේ ඛාන් යූනිස් නගරයේ හමාස් සටන්කාමීන් ඉලක්ක කර ගනිමින් සටන් වදින ඊශ්‍රායල සොල්දාදුවන් 24 දෙනකු හමාස් සටන්කාමීන් කළ පහර දීම්වලින් මියගොස් ඇතැයි ඊශ්‍රායල රජය පවසා ඇත.

හමාස් සටන්කාමීන් සමඟ යුද්ධය ආරම්භ කිරීමෙන් පසු, එක් දිනකදී වැඩිම ඊශ්‍රායල සොල්දාදුවන් ගණනක් මියගිය පළමු අවස්ථාව මෙය යැයි පැවැසෙයි. ඛාන් යූනිස් නගරයේ රෝහලටත් ඊශ්‍රායලය ගුවන් ප්‍රහාර එල්ල කර තිබේ.

ඊශ්‍රායල හමුදා ඛාන් යූනිස් නගරයට පහර දීම ආරම්භ කර ඇත්තේ එම නගරය සහ ඒ අවට පදිංචි පලස්තීන වැසියන් 90,000 කට වහා පිටවී යන්නැයි උපදෙස් දෙමිනි.

ඊශ්‍රායල හමුදාව දිගින් දිගටම, ගාසා තීරයට එල්ල කරන ප්‍රහාර හේතුවෙන්, ගාසා තීරයේ පලස්තීන වැසියන් පීඩාවට පත් වීම කිසිසේත් අනුමත කර නොහැකි බව එක්සත් ජාතීන්ගේ මහ ලේකම් ඇන්තෝනියෝ ගුටරේස් එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයට දන්වා ඇත.

(ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS