ඊශ්‍රායලය ඉරාන න්‍යෂ්ටික බලාගාර ඉලක්ක කර ගනීවි



ඉරානයෙන් එල්ල වූ මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාරයට ප්‍රතිචාර දැක්වීමක් ලෙස ඊශ්‍රායලය, ඉරානයේ න්‍යෂ්ටික බලශක්ති බලාගාර ඉලක්ක කර ගනිමින් ප්‍රති ප්‍රහාර එල්ල කිරීමට ඉඩ ඇතැයි එක්සත් ජාතීන්ගේ පරමාණු බලශක්ති නිරීක්ෂකයෝ බිය ඵළ කරති.

එක්සත් ජාතීන්ගේ පරමාණු බලශක්ති නිරීක්ෂකයන් මෙසේ බිය පළ කළේ ‘සුදුසු වෙලාව බලා’ ඉරානයට ප්‍රහාරයක් එල්ල කරමින්, ඉරානය එල්ල කළ ප්‍රහාරයට ප්‍රතිචාර දක්වන බවට ඊශ්‍රායලය කළ අනතුරු ඇඟවීම සැලකිල්ලට ගනිමිනි.

ප්‍රමාණයෙන් කුඩා රාජ්‍යයක් වුවත්, ඇමෙරිකාව ඇතුළු බටහිර රටවල සහාය ලබන ඊශ්‍රායලය, අති නවීන අවි ආයුධ සහ යුදෝපකරණවලින් සමන්විතය. නෂ්ටික යුද ශීර්ෂ 400 ක් පමණ ඊශ්‍රායල හමුදාව සතුය.

මෙම යුද ශීර්ෂ සවි කළ මිසයිලවලින් ඊශ්‍රායලය ඉරානයේ න්‍යෂ්ටික බලශක්ති බලාගාර ඉලක්ක කර ගනිමින් පහර දුන්නොත්, එම ප්‍රහාර වළක්වා ගැනීමට ඉරානයට හැකියාවක් නොලැබෙනු ඇති බවත්, නෂ්ටික පිපිරීම් සිදුවී මහා විනාශයක් සිදුවනු ඇති බවත් එක්සත් ජාතීන්ගේ පරමාණු බලශක්ති නිරීක්ෂකයන් වැඩි දුරටත් බිය පළ කර ඇත.

පරමාණු බලශක්ති බලාගාරවලට පහර දීමෙන්, ඉරානය ක්ෂණිකව අඩපණ කිරීමට ඊශ්‍රායලයට හැකියාව ලැබෙනු ඇතැයි ද පරමාණු බලශක්ති නිරීක්ෂකයයෝ පැහැදිලි කරති.

ඉරානය, ඊශ්‍රායලයට මිසයිල සහ ඩ්‍රෝන යොදා ගනිමින් පහර දුන්නේ පසුගිය 13 වැනිදාය. ඒ, ඊශ්‍රායල මිසයිල ප්‍රහාරයකින් සිරියාවේ ඉරාන කොන්සල් කාර්යාලය විනාශ වී, ඉරාන විප්ලවීය හමුදාවේ ප්‍රධානීන් දෙදෙනකු ද ඇතුළු පිරිසක් මියයෑමේ සිද්ධියට පලිගැනීමක් ලෙසය. 

ඉරානයෙන් ඊශ්‍රායලයට එල්ල වුණු මිසයිල සහ ඩ්‍රෝන යානා උඩු ගුවනේ දී පහර දී විනාශ කිරීමට ඊශ්‍රායල හමුදාව සමත්විය. ඇමෙරිකාවෙන්, මහා බි්‍රතාන්‍යයෙන් පමණක් නොව, ජෝර්දානයෙන් ද ඊට සහාය හිමිවිය. ඒ අනුව, ඉරාන ප්‍රහාරයෙන් ඊශ්‍රායලයට බරපතල හානියක් සිදුවූයේ නැත.

ඉරාන ප්‍රහාරයෙන් පසු ඊශ්‍රායල යුද කැබිනට් මණ්ඩලය රැස්වී ඉරානයට එරෙහිව ගත යුතු ක්‍රියා මාර්ග සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්වීය. සුදුසු වෙලාව බලා ඉරානයට ප්‍රතිචාර දැක්වීමට ඊශ්‍රායලය කටයුතු කරන බව ඊශ්‍රායල අග්‍රාමාත්‍ය නෙදන්යාහු පැවැසුවේ මෙම අවස්ථාවේදීය.

ඊශ්‍රායලයට කොන්දේසි විරහිතව සහාය දක්වන ඇමෙරිකාව, මහා බි්‍රතාන්‍යය ඇතුළු බටහිර රටවල් පවසා ඊශ්‍රායලයෙන් ඉල්ලා ඇත්තේ, ඉරානය සමඟ ගැටුමක් ඇති කර ගැනීමෙන්  වැලැකී සිටින ලෙසය. කෙසේ නමුත් ඊශ්‍රායල අග්‍රාමාත්‍ය නෙදන්යාහු පවසා ඇත්තේ සතුරු ප්‍රහාරයක් එල්ල වන සෑම අවස්ථාවකම, ඊට ප්‍රතිප්‍රහාර එල්ල කරමින් ප්‍රතිචාර දැක්වීමට ඊශ්‍රායලයට අයිතියක් ඇති බවය.

 


RECOMMEND POSTS