ඊශ්‍රායල-හමාස් යුද්ධයට දින 100 යි



ඊශ්‍රායල - හමාස් යුද්ධයට දින 100 පිරුණත් හමාස් බාරයේ සිටින ඉතිරි ප්‍රාණ ඇපකරුවන් බේරා ගැනීමට ඊශ්‍රායලය අපොහොසත්වීම සම්බන්ධයෙන් ඊශ්‍රායල ජනතාවගේ සිත් තුළ ඇති කෝපය දිනෙන් දින වැඩිවෙමින් පවතින බව ඊශ්‍රායල මාධ්‍ය වාර්තා කරයි.

ඇතැම් ප්‍රාණඇපකරුවන් ජීවත්ව සිටින බවට ඔවුන්ගේ පවුල්වලට සාක්ෂියක් ලැබුණත් ඉතිරි පිරිස ජීවත්වන බවට කිසිඳු සාක්ෂියක් නොමැති බව ඊශ්‍රායල මාධ්‍ය සඳහන් කළේය.නොවැම්බර් මාසයේදී ප්‍රාණ ඇපකරුවන් නිදහස් කිරීම සම්බන්ධව එකඟතාවයකට පැමිණ හමාස් සංවිධානය ප්‍රාණ ඇපකරුවන් 100 දෙනකු නිදහස් කළත් ඊශ්‍රායලයේ වර්තමාන ක්‍රියා කලාපය හේතුවෙන් අනාගතයේදී එවන් එකඟතාවයකට දෙපාර්ශ්වය එළඹෙතැයි බලාපොරොත්තු විය නොහැකි බව ඊශ්‍රායල මාධ්‍ය පෙන්වාදී ඇත.

තත්වය එසේ තිබියදී කිසිම අධිකරණයකට හෝ හමුදා බලයකට හමාස් සංවිධානය විනාශ කිරීමේ ඊශ්‍රායල ඉලක්කය සපුරා ගැනීම නැවත්වීමට හැකියාවක් නොමැති බව එරට අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු ප්‍රකාශ කළේය.ඊශ්‍රායලය ජයග්‍රහණය කරන තෙක් අඛණ්ඩව යුද්ධය ඉදිරියට ගෙන යන බවත් මේ වනවිටත් හමාස් සංවිධානයේ වැඩි ප්‍රමාණයක් විනාශ කර ඇති බවත් අග්‍රාමාත්‍යවරයා පැවැසුවේය.

ඊශ්‍රායල යුද්ධයේ දින 100 දී පලස්තීන වැසියන් 23850 ක් පමණ ඝාතනයට ලක්වී ඇති බවත් 60317 ක් තුවාල ලබා ඇති බවත් පලස්තීන බලධාරීහු ප්‍රකාශ කළහ.ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන් සහ යේමනයේ හවුති සටන්කාමීන් හමාස් සංවිධානයට සහාය පළකර ඇත.එසේම ඉරාකයේ ඇමෙරිකානු විරෝධී සටන්කාමීන් සිරියාවේ ඇමෙරිකානු කඳවුරු 2 කට ප්‍රහාර එල්ල කර ඇතැයි වාර්තා වේ.


RECOMMEND POSTS