ඊශ්‍රායල හමාස් අර්බුදය විසඳන්න ජගත් සමුළුවක්



ඊශ්‍රායල හමාස් අර්බුදයට තිරසාර විසඳුමක් සෙවීමට නම්, සියලු පාර්ශ්ව සහභාගී කරගනිමින් ජාත්‍යන්තර සාම සමුළුවක් පැවැත්විය යුතු බව චීනය වෙනුවෙන් එරට විදේශ අමාත්‍ය වැංග් යී පවසයි.

චීන විදේශ අමාත්‍ය වැංග් යී, මේ වනවිට සිටින්නේ ඊජිප්තුවේ කයිරෝ අගනුවරය. විදේශ අමාත්‍යවරයා කයිරෝ අගනුවර බලා ගියේ ඊශ්‍රායල හමාස් අර්බුදය සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්වීමටය.

මේ වනවිට ඊශ්‍රායල හමාස් යුද්ධයට දින 100 ක් ගතවී ඇති අතර, හමාස් සටන්කාමීන් ඉලක්ක කරගෙන, ඊශ්‍රායල හමුදා එල්ල කරන ප්‍රහාරවලින් දිනපතා පලස්තීන දරුවන් සහ කාන්තාවන් මියයයි. මෙය චීනයේ දැඩි කනස්සල්ලට හේතුවක් වී ඇත.

කයිරෝ අගනුවරදී, ඊජිප්තු විදේශ අමාත්‍ය සම්මි ෂුකරි හමුවී සාකච්ඡා කිරීමෙන් පසු චීන විදේශ අමාත්‍යවරයා මාධ්‍ය හමුවකට සහභාගී විය.

එහිදී ඔහු අවධාරණය කළේ නිමාවක් නැති ඊශ්‍රායල හමාස් ගැටුම වහා අවසන් කිරීමට, සාම සමුළුවක් පැවැත්වීමේ දී, ඊශ්‍රායලයට පමණක් නොව හමාස් සංවිධානයට ද හිතවත් සියලු පාර්ශ්ව නියෝජනය කර ගනිමින් ජාත්‍යන්තර සමුළුවක් පැවැත්විය යුතු බවය.

තිරසාර පැහැදිලි විසඳුමක් සෙවීමේ අරමුණින්, සියලු පාර්ශ්ව සම්බන්ධ කරගෙන, මහා පරිමාණයේ සාම සමුළුවක් පැවැත්වීමට තමන් මැදිහත් වන බව චීන විදේශ කටයුතු අමත්‍යාංශය පවසයි. ඊශ්‍රායල පලස්තීන අර්බුදයට ඇත්තේ ද්වී රාජ්‍ය විසඳුමක් බව චීනයේ ද අදහසය.


RECOMMEND POSTS