ඊශ්‍රායල වැසියෝ ලක්ෂයක් වීදි බසිති



ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහුට විරෝධය පළ කරමින්, ඊශ්‍රායල වැසියෝ දස දහස් ගණනක් එරට ටෙල් අවීව් නුවරට රැස්වී දැවැන්ත විරෝධතා රැළියක් පැවැත්වූහ. ඊශ්‍රායල මාධ්‍ය වාර්තා කළේ ලක්ෂයකට වැඩි ඊශ්‍රායල වැසියන් පිරිසක් විරෝධතාවට එක්වුණු බවය.

ඊශ්‍රායලය, ගාසා තීරයේ හමාස් සටන්කාමීන් සමඟ යුද්ධයක පැටලී සිටින්නේ පසුගිය ඔක්තෝබර් 7 වැනිදා සිටය. අද (7) වනවිට, ඊශ්‍රායල හමාස් යුද්ධයට මාස 6 ක් ගතවී ඇත.

පසුගිය ඔක්තෝබර් 7 වැනිදා හමාස් සටන්කාමීන් ඊශ්‍රායලයට කඩා වැදී පහර දී ආපසු ගාසා තීරයට පසුබැස ගියේ, ඊශ්‍රායල වැසියන් සහ ඊශ්‍රායලයේ සිටි විදේශිකයන් ද ඇතුළු 250 දෙනකු රැගෙනය. ඔවුන්ගෙන් 130 දෙනෙක් තවමත් හමාස් ප්‍රාණ ඇපයේ පසුවෙති. 

එසේ ප්‍රාණ ඇපයේ සිටි එලාඩ් කට්සීර් නමැති ඊශ්‍රායල ජාතිකයා පසුගිය දා ඊශ්‍රායල හමුදා හමාස් සටන්කාමීන් ඉලක්ක කර ගනිමින් ඊශ්‍රායලය කළ පහර දීමකදී මියගියේය. එලාඩ් කට්සීර්ගේ සිරුර ඊශ්‍රායල හමුදාවට හමුවුණු බව ද වාර්තා විය. විරෝධතාවට මෙය හේතුවක් විය. මේ වනවිට ඊශ්‍රායල හමුදා එල්ල කරන ප්‍රහාරවලින් ද ප්‍රාණඇපකරුවන් කිහිප දෙනකු මෙසේ ජීවිතක්ෂයට පත්ව ඇත. 

ඊශ්‍රායල හමුදා ගාසා තීරයට පහර දෙන්නේ හමාස් සංවිධානය මුලිනුපුටා දමා, ප්‍රාණඇපකරුවන් මුදා ගන්නා බව පවසමිනි. කෙසේ නමුත් මෙතෙක් එවැන්නක් සිදුවී නැත. ප්‍රාණ ඇපකරුවන් මුදා ගැනීමට හමාස් සංවිධානය සමඟ ඊශ්‍රායල රජය සාකච්ඡා පවත්වන නමුත් හමාස් සංවිධානයේ කොන්දේසිවලට ඊශ්‍රායල රජය කැමැත්තක් දක්වන්නේ ද නැත. එම සාකච්ඡා පැවැත්වෙන්නේ ඇමෙරිකාව, ඊජිප්තුව ආදී රටවල් මැදිහත් වෙමිනි.

වහා සටන් විරාමයකට ගොස්, හමාස් ප්‍රාණ ඇපයේ සිටින ඵීරිස මුදා ගන්නැයි අද (7) දිනයේ ටෙල් අවීව් නුවරට රැස්වුණු විරෝධතාකරුවෝ අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහුට බල කරන්න වූහ. අග්‍රාමාත්‍ය නෙදන්යාහු වහා ධුරයෙන් ඉවත් විය යුතු බවත්, වහා මැතිවරණයකට යා යුතු බවත් ඔවුහු පැවැසුහ.

හමාස් සටන්කාමීන්ගේ ප්‍රාණ ඇපයේ සිටින ඊශ්‍රායල වැසියන්ගේ ඥාතීන් සහ මිතුරන් ද මෙම විරෝධතාවට එක් වී සිටි බව වාර්තාවේ. විරෝධතාකරුවන් විසුරුවා හැරීමට පොලිසිය මැදිහත් වූ අතර, එවිට කලහකාරී තත්ත්වයක් නිර්මාණය විය.

(ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS