ඉරානය ඇමෙරිකාවට බ්‍රිතාන්‍යයට දොස් නගයි



ඉරාන සතුරු ඉලක්කවලට පහර දෙනවා යැයි පවසමින්, ඇමෙරිකාව, මහා බ්‍රිතාන්‍යය ද හවුල් කරගෙන, ඉරාකයට සහ සිරියාවට ගුවන් ප්‍රහාර එල්ල කිරීම විශාල වරදක් බව ඉරානය පවසයි.

ඉරානය මෙසේ පැවැසුවේ, ගතවුණු පැය 24 ක කාලයේ, ඇමෙරිකාව සහ මහා බි්‍රතාන්‍යය එක් වී, ඉරාකයේ සහ සිරියාවේ ඉලක්ක 85කට ගුවන් ප්‍රහාර එල්ල කිරීමත්, එම ප්‍රහාරවලින් ඉරාකයේ සහ සිරියාවේ සිවිල් වැසියන් 15 ක් මියයෑමත් සමඟය.

තමන් ප්‍රහාර එල්ල කරන්නේ ඉරාන හමුදා නිලධාරීන්, බුද්ධි අංශ නිලධාරීන් සහ ඉරානයේ සහාය ලබන සටන්කාමීන් ඉලක්ක කර ගනිමින් යැයි ඇමෙරිකාව සහ මහා බි්‍රතාන්‍යය අවධාරණය කර ඇත.

පසුගිය දා සිරියානු දේශසීමාවේ ජෝර්දානයට අයත් ඇමෙරිකන් බුද්ධි අංශ කඳවුරකට ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල විය. එම ප්‍රහාරය එල්ල කළේ ඉරාන හිතවාදී සටන්කාමීන් බවත්, ප්‍රහාරයට යොදා ගත් නියමුවන් රහිත ඩ්‍රෝන ඉරානයේ නිෂ්පාදිත ඒවා බවත් ඇමෙරිකාව චෝදනා නගා ඇත.

එම ඩ්‍රෝන ප්‍රහාරයෙන් ඇමෙරිකන් හමුදා නිලධාරීන් තිදෙනකු ජීවිතක්ෂයට පත්වුණු අතර, ඔවුන්ගේ දේහයන් ඇමෙරිකාට රැගෙන එනු ලැබුණි. ඒ හමුදා ගෞරව මධ්‍යයේය. ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් සහ බිරිඳ ජිල් බයිඩන් ද ගුවන්තොටුපොළට ගොස් මියගිය සොල්දාදුවන්ට ආචාර කළේය. එම ඩ්‍රෝන ප්‍රහාරයෙන් තවත් ඇමෙරිකන් සොල්දාදුවන් 40 දෙනකු තුවාල ලැබූ බව ද ඇමෙරිකන් හමුදාව පැවැසීය.

ඇමෙරිකන් සෙබළුන් ඝාතනය කිරීම සම්බන්ධයෙන් ඉරානයට කිසිදු සමාවක් නොදෙන බව ජනාධිපති බයිඩන් ප්‍රතිඥා දී ඇති අතර,  ඇමෙරිකාව මහා බ්‍රිතාන්‍යය ද හවුල් කරගෙන, ඉරාකයේ සහ සිරියවේ සතුරු ඉලක්කවලට පහර දීම ආරම්භ කළේය.

මේ සම්බන්ධයෙන් ඉරානය දිගින් දිගටම පවසා ඇත්තේ, ඇමෙරිකාව, මහා බ්‍රිතාන්‍යය හවුල් කර ගනිමින් එල්ල කරන එම ප්‍රහාරවලින් කලාපීය ආරක්ෂාව බිඳ වැටෙනු ඇති බවත්, කලාපීය සාමයට එම ප්‍රහාර තර්ජනයක් වනු ඇති බවත්ය.

(ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS