ඉරාන ඉලක්කවලට පහර දෙනවා



සිරියාවේත් ඉරාකයේත් ඉරාන ඉලක්කවලට ප්‍රහාර එල්ල කිරීමට සූදානම් බව ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් පවසයි. ඇමෙරිකන් රජය, සිරියාවේත් ඉරාකයේත් ඉරාන ඉලක්කවලට ප්‍රහාර එල්ල කිරීමට සූදානම් වන්නේ, ඒ සඳහා එරට කොංග්‍රස් මණ්ඩලයේ අනුමැතිය හිමිවීමෙන් පසුවය.

ඉදිරි දින කීපයේ දී එම ප්‍රහාර එල්ල කිරීමට තමන් බලාපොරොත්තුවෙන් සිටින බවත්, එසේ ප්‍රහාර එල්ල කිරීමේ දී නිර්මාණය වන ඕනෑම තත්ත්වයකට මුහුණ දීමට පසුබට නොවන බවත් ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් පැහැදිලි කර ඇත.

කෙසේ නමුත් මේ වනවිට ඇමෙරිකාව, ඉරාන ඉලක්කවලට පහර දෙමින්, ඉරානය සමඟ යුද්ධයකට පැටලීමට උත්සාහ ගන්නවා යැයි ජනාධිපති ජෝ බයිඩන්ට චෝදනා එල්ල වෙයි.

ඇමෙරිකාව සහ ඉරානය අතරේ මෙසේ අර්බුදකාරී තත්ත්වයක් නිර්මාණය වී ඇත්තේ, ඊශ්‍රායල හමාස් යුද්ධයේ දිගුවක් ලෙස යැයි දේශපාලන විශ්ලේෂකයෝ පෙන්වා දෙති.

ගාසා තිරයේ හමාස් සටන්කාමීන්ට එල්ල කරන ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ පලස්තීන සිවිල් වැසියන් මියයෑම සම්බන්ධයෙන් ඊට විරෝධය දැක්වීමක් ලෙස යේමනයේ හවුති ෂියා මුස්ලිම් සටන්කාමීන්, රතු මුහුදේ නාවික කටයුතුවලට බාධා කරයි.

ඒ, නැව්වලට පහර දෙමිනි. මෙය ගෝලීය නාවික කටයුතුවලට බලපෑම් එල්ල කර තිබේ. හවුති සටන්කාමීන්ට ආයුධ දෙන්නේත්, ආයුධ පුහුණව දෙන්නේත්, අනුග්‍රහය දක්වන්නේත් ඉරානයයි.

පසුගිය දා සිරියානු දේශසීමාව අසල, ජෝර්දානයේ පිහිටි ඇමෙරිකන් හමුදා බුද්ධි අංශ නිලධාරීන්ගේ ‘ටවර් 22’ නමැති කඳවුරකට ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල විය. එවින් ඇමෙරිකන් හමුදා නිලධාරීන් තිදෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ.

41 දෙනෙක් තුවාල ලැබූහ. එම ප්‍රහාරය එල්ල කළේ ඉරාන හිතවාදී සටන්කාමීන් යැයි ඇමෙරිකාව චෝදනා නගා තිබේ. ‘ටවර් 22’ කඳවුරට පහර දීමට භාවිත කළේ ඉරානයේ නිෂ්පාදිත ඩ්‍රෝන යානා යැයි ඇමෙරිකාව විසින් තහවුරු කරනු ලැබ ඇත.

‘ඇමෙරිකන් හමුදා සෙබළුන් ඉලක්ක කර ගනිමින් එල්ල වන කිසිම ප්‍රහාරයක් සම්බන්ධයෙන්, අප නිහඬව සිටින්නේ නැහැ. අප අපට රිසි පරිදි ඊට ප්‍රතිචාර දක්වන්න බලාපොරොත්තු වෙනවා’ යැයි ඇමෙරිකන් ආරක්ෂක ලේකම් ලොයිඩ් ඔස්ටින් මාධ්‍ය හමුවේ පැහැදිලි කර ඇත.

‘ටවර් 22’ ඇමෙරිකන් කඳවුරට එල්ල වූ ප්‍රහාරය සම්බන්ධයෙන්, ඉරානය පවසා ඇත්තේ තමන් ඊට සම්බන්ධ නොවුණු බවය. ඇමෙරිකන් හමුදා ඉලක්ක කර ගනිමින් ප්‍රහාර එල්ල කිරීමේ අදහසක් තමන්ට නැතැයි ද ඉරානය පවසා ඇත. එසේ වුවත්, ඇමෙරිකාව තමන්ට තර්ජනයක් වන්නේ නම්, ඇමෙරිකාවට එරෙහිව ප්‍රතිචාර දැක්වීමට තමන් පසුපට නොවන බව ද ඉරානය වැඩි දුරටත් පවසා තිබේ.

සිරියාවත්, ඉරාකයත්, ඉරානයත් එක ළඟ පිහිටි රටවල් වන අතර, සිරියාවේ ෂියා මුස්ලිම් බෂාර් අල් අසාද්ගේ රජයට ඉරානයේ සහාය නොඅඩුව හිමිවෙයි. සිරියානු සිවිල් යුද්ධයේදී සිරියානු රජයේ සහායට සිටි එක් රටක් වන්නේ ඉරානයයි. අනෙක් රට රුසියාවය.

ඉරාකයත් ඉරානයත් අතරේ යහපත් සබඳතා පවතී. ඉරාකයේ ඉරාන හිතවාදී සටන්කාමීන්ගේ කඳවුරු ඇත. ඉරාකයේ ඇමෙරිකන් හමුදා කඳවුරු ද ඇති අතර, එම කඳවුරුවලට සිරියාවෙන් මිසයිල ප්‍රහාර එල්ල වෙයි. ඇමෙරිකන් හමුදාව දිගින් දිගටම චෝදනා කරන්නේ එම ප්‍රහාර පසුපස ඉරානය සිටින බවටය.


RECOMMEND POSTS