ආධාර එකතු කරන්න ගිය පලස්තීනුවෝ ගිලී මරුට



ඇමරිකන් හමුදාව ගුවනින් හෙලූ ආහාර එකතු කිරීමට ගිය පලස්තීන සිවිල් වැසියන් 18 දෙනකු මුහුදේ ගිලී ජීවිතක්ෂයට පත්වුණු බව පලස්තීන සෞඛ්‍ය අමත්‍යාංශය පැවැසීය.

ඊශ්‍රායල ප්‍රහාර හමුවේ, අසරණ වූ ගාසා පලස්තීන වැසියන්ට ඇමෙරිකාව ආධාර ලබා දෙන්නේ ගුවනින්ය. පානීය ජලය, ආහාර, පිටි වර්ග ඇතුළු ටොන් ගණනක් ආධාර පැරෂූට් ආධාරයෙන් ගාසා වැසියන්ට ලබා දීම සිදුවෙයි.

ඇමෙරිකන් ගුවන් හමුදාව එසේ හෙලූ ආධාර මුහුදට වැටී ඇති අතර, එම ආධාර එක්රැස් කර ගැනීමට මුහුදේ පිහිනූ පලස්තීන වැසියෝ මෙසේ දියේ ගිලී ජීවිතක්ෂයට පත් වූහ. ඊට අමතරව, පැරෂූට් ආධාරයෙන් ගාසා තීරයට හෙලූ ආධාර ලබා ගැනීමට පොරකද්දී ඇති වුණු තෙරපීමකින් ද ගාසා පලස්තීන වැසියෝ සය දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ.

ඊශ්‍රායල ප්‍රහාර හමුවේ ගාසා තීරයේ පලස්තීන වැසියන් පීඩාවට පත්වීම ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන්ගේ කනස්සල්ලට හේතුවක් වී ඇත. ආධාර ලබා ගැනීමට යද්දී ගිලී මියගිය සහ තෙරපී මියගිය පලස්තීන සිවිල් වැසියන් සම්බන්ධයෙන් බයිඩන් කනගාටුව පළ කර ඇතැයි ද ධවල මන්දිරය පවසයි.

මේ අතර, ගාසා තීරයේ ඊශ්‍රායල පලස්තීන සටන් අවසන් කිරීමට වහා සටන් විරාමයක් අවශ්‍ය යැයි බල කරමින්, එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය හමුවේ නව යෝජනාවක් සම්මත කර ගැනුණි.

එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ නිත්‍ය සාමාජිකයකු වන්නේ ඇමෙරිකාවය. ඇමෙරිකාව ඊශ්‍රායලට සහාය දක්වන අතර, මීට පෙර මේ අයුරින් ඉදිරිපත් වූ යෝජනා සියල්ලට ඇමෙරිකාව සිය නිෂේධ බලය භාවිතයට ගනිමින් විරුද්ධ විය.

කෙසේ නමුත් මෙම නව යෝජනාව සම්බන්ධයෙන් ඡන්දය විමසීම සිදුවෙද්දී ඇමෙරිකාව ඊට එකඟ වූයේ හෝ විරෝධය දැක්වූයේ හෝ නැත. ඇමෙරිකාව ඡන්දය දීමෙන් වැළැකී සිටියේය. ඇමෙරිකාව මේ අයුරින් ඡන්දය දීමෙන් වැළැකී සිටි පළමු අවස්ථාව මෙයයි.

(ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS