ලූනා 25 සඳ බලා යයි



‘රොස්කොස්මොස්’ Roscosmos යනු රුසියන් අභ්‍යවකාශ ආයතනයයි. පසුගිය අගෝස්තු 11 වැනිදා, වසර 47 කට පසු, ‘රොස්කොස්මොස්’ විද්‍යාඥයන්, රොබෝ ගවේෂණ යානයක් සඳට යැවීය. ‘ලූනා 25’ Luna-25 නමැති මෙම චන්ද්‍ර යානය, අගෝස්තු 11 වැනිදා උදෑසන රුසියාවේ වේලාවෙන් 8.10 ට, අභ්‍යවකාශයට රැගෙන ගියේ රුසියාවේ නිෂ්පාදිත ‘සෝයූස් 2 ෆ්‍රෙගෙට්’ රොකට්ටුවය.

දෙවැනි ලෝක යුද්ධය අවසන් වීමෙන් පසු, එදා ලොව සුපිරි බලවතුන් දෙදෙනා වූ ඇමෙරිකා එක්සත් ජනපදය සහ රුසියාව අයත් සෝවියට් සමූහාණ්ඩුව අතරේ එදිරිවාදිකම් පැවැතිණි. අවි අමෝරා ගනිමින්, ඇමෙරිකා එක්සත් ජනපදය සහ සෝවියට් සමූහාණ්ඩුව, අවි නැති යුද්ධයක පැටලිණි. නිරවි යුද්ධයක Cold War යනු මෙයයි. දෙපාර්ශ්වයම, එකිනෙකාට තර්ජනය කර ගනිමින්, දෙදෙනාගේ බලපුළුවන්කාරකම් පෙන්වන්න පටන් ගත්තේය. 1947 මාර්තු 12 වැනිදා ආරම්භ වුණු නිරවි යුද්ධය 1991 වසරේ දෙසැම්බර් 25 වැනිදා අවසන් වූයේ සෝවියට් සමූහාණ්ඩුව බිඳ වැටීමෙන් පසුවය. ඇමෙරිකාවත් සෝවියට් සමූහාණ්ඩුවත් අතරේ අභ්‍යවකාශය සහ සඳ ජය ගැනීමට තරඟයක් පැවැතියේ ද මෙම නිරවි යුද සමයේය. පළමු චන්ද්‍රිකාව පෘථිවි කක්ෂයේ රැඳවූයේ සෝවියට් විද්‍යාඥයන්ය. පළමු වරට චන්ද්‍ර යානයක්, සඳට පතිත කළේ ද සෝවියට් විද්‍යාඥයන්ය. ඒත් පළමුවෙන් ම සඳ තරණයට මිනිසුන් යැවුවේ ඇමෙරිකාවේ නාසා ආයතනයයි.

සෝවියට් විද්‍යාඥයන් අවසන් වරට සඳට යානයක් ගොඩබෑවේ 1976 අගෝස්තු 18 වැනිදාය. සෝවියට් විද්‍යාඥයන් අවසන් වරට සඳට ගොඩබෑමට සැලැස්වූයේ ‘ලූනා 24’ රොබෝ යානයයි. පසුගිය අගෝස්තු 11 වැනිදා උදෑසන, ‘ලූනා 25’ යානය රැගත් ‘සෝයූස් 2 ෆ්‍රෙගෙට්’ රොකට්ටුව උඩු ගුවන බලා පිටත්ව ගියේ ‘වොස්ටොච්නී’ Vostochny අභ්‍යවකාශ මධ්‍යස්ථානයෙනි. මෙම අභ්‍යවකාශ මධ්‍යස්ථානය පිහිටා ඇත්තේ රුසියාවේ නැගෙනහිර කෙළවරේ අමූර් ඔබ්ලාස්ට් පළාතේය. මෙම පළාත රුසියන් පාලනය යටතේ පවතී. ‘වොස්ටොච්නී’ අභ්‍යවකාශ මධ්‍යස්ථානය මෙහෙයුම් ආරම්භ කළේ 2022 ජූලි පළමු වැනිදාය. ‘වොස්ටොච්නී’ අභ්‍යවකාශ මධ්‍යස්ථානය අසල කුඩා ගම්මානයකි. ‘සෝයූස් 2 ෆ්‍රෙගෙට්’ රොකට්ටුව ගුවන්ගත වෙද්දී, හදිසියේ හෝ දෝෂයක් සිදුවී පුපුරා ගියොත් යැයි බියක් හටගත් බැවින්, ගම්මානයේ වැසියන් ආරක්ෂිත ස්ථානයකට යොමු කෙරුණු බව ද පැවැසෙයි.

‘සෝයූස් 2’ රොකට්ටුවේ ආධාරයෙන් පෘථිවි කක්ෂයට තල්ලු කෙරුණු ‘ලූනා 25’ යානය, වේගය අඩු වැඩි කරමින් පෘථිවි කක්ෂයට පිවිස, අවශ්‍ය ප්‍රවේගය ලබා ගැනීමෙන් පසු දින 5 කින් සඳුගේ කක්ෂවය පිවිසෙන බව රුසියන් විද්‍යාඥයෝ පැවැසූහ. ඒ අනුව, ‘ලූනා 25’ යානය, සඳුගේ කක්ෂයට පිවිසෙන්නේ අගෝස්තු 16 වැනිදාය. ‘ලූනා 25’ සඳුගේ දක්ෂිණාර්ධ ගෝලයේ තෝරාගත් ස්ථානයකට පතිත කිරීමට නියමිතය. අගෝස්තු 21 වැනිදා යානය පතිත කිරීම සිදුවනු ඇතැයි පැවැසෙයි.

මේ වනවිට, තවත් රොබෝ යානයක් සඳට ගොඩබෑමට සූදානමින්, සඳුගේ කක්ෂයට වී සිටී. ඒ, ඉන්දියාවේ ‘චන්ද්‍රයාන් 3’ ය. ඉන්දීය අභ්‍යවකාශ පර්යේෂණ ආයතනය නිවේදනය කර ඇත්තේ, ‘චන්ද්‍රයාන් 3’ රොබෝ යානය අගෝස්තු 23 වැනිදා සඳුගේ දක්ෂිණාර්ධ ගෝලයට පතිත කරවන බවය. රුසියාව සහ ඉන්දියාව අතරේ පවතින්නේ මිත්‍රත්වයකි. රුසියන් විද්‍යාඥයන් ‘ලූනා 25’ අභ්‍යවකාශයට යැවීමත් සමඟ ඉන්දීය අභ්‍යවකාශ පර්යේෂණ ආයතනය, රොස්කොස්මොස් ආයතනයට සුබ පැතුවේය.

රුසියන් විද්‍යාඥයන්ගේ ‘ලූනා 25’ රොබෝ යානය රොකට් පද්ධතියකින් සමන්විතය. යානය සඳට ගොඩබෑම සිදු කරන්නේ ඒවා ආධාරයෙනි. යානයට බලය ලැබෙන්නේ එහි ඇති සූර්ය පැනලවලිනි. ‘ලූනා 25’ යානය‘ සඳට පතිත කිරීමෙන් සඳුගේ පස් සහ දූවිලි සාම්පල පරීක්ෂා කරනු ඇත. සඳ මතුපිට ජල අංශු අධ්‍යයනය ප්‍රධාන අරමුණ වෙයි. ‘ලූනා 25’ යානයේ මෙහෙයුම් කාලය වසරකි. පස් සාම්පල ලබා ගැනීමට කුඩා රොබෝ අතක් ද යානයට ඇත. ‘ලූනා 25’ රොබෝ යානයේ ප්‍රමාණය කුඩා මෝටර් රථයක් තරම්ය. බර කිලෝ 30 ක් පමණය. ලූනා ග්ලෝබ් ලෑන්ඩර් Luna-Glob lander යනුවෙන් ද ‘ලූනා 25’ හැඳින්වෙයි. රුසියන් රූබල් මිලියන 100 ත් 200 ත් අතර මුදලක් යානය නිපදවීමට වැය වී ඇත.

රුසියන් අභ්‍යවකාශ ආයතනය හෙවත් ‘රොස්කොස්මොස්’, ‘ලූනා 25’ මෙහෙයුමත්, ඉදිරියට සිදු කිරීමට නියමිත ‘ලූනා 26’ සහ ලූනා 27’ යන මෙහෙයුම් පමණක් නොව, අඟහරු ගවේෂණ මෙහෙයුම් ද සිදු කිරීමට සූදානම් වූයේ යුරෝපා අභ්‍යවකාශ ආයතනය සමඟ එක්වෙමිනි. යුරෝපා අභ්‍යවකාශ ආයතනය නිර්මාණය වී ඇත්තේ යුරෝපා රටවල් එක්වෙමිනි. පසුගිය 2022 වසරේ ආරම්භ වුණු රුසියන් යුක්රේන අර්බුදය හේතුවෙන් යුරෝපා රටවල් සහ රුසියාව අතර ඇයිහොඳයිකම් පළුදු වී තිබේ. එහෙයින්, රුසියාවට සඳ ගවේෂණ මෙහෙයුම් පමණක් නොව, අඟහරු ගවේෂණ මෙහෙයුම් ද සිදු කරනු ඇත්තේ තනිවමය.


RECOMMEND POSTS