මිජවුම් කළ හදිය



නිරිතදිග බෙංගාල බොක්කේ පැවැති පීඩන අවපාතය, පීඩන අවපාතයක් තෙක් වර්ධනය වී, පසුව සුළි කුණාටුවක් බවට පරිවර්තනය විය. මිජවුම් යනුවෙන් නමින් නම් කළ එහි බලපෑම ශ්‍රී ලංකාවේ උතුරු සහ බටහිර වෙරළ තීරයට  දැනෙනු ඇතැයි අප කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අතුල කරුණාරත්න මහතා පෙන්වා දුන්නේය.

මන්නාරම සිට කන්කසන්තුරය, ත්‍රිකුණාමලය, මඩකලපුව හරහා පොතුවිල් සක්වා වෙරළ තීරයට ඔබ්බෙන් වන මුහුදු කාලාපයේ ධීවර කටයුතු නැවත දැනුම් දෙන තුරු තහනම් බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ධීවර සහ නාවික ප්‍රජාවට දැනුම් දුන්නේය. පසුගිය දිනවල උතුරු, උතුරු මැද, නැගෙනහිර සහ වයඹ පළාත්වලට විටින් විට මිලි මීටර් 100 ට වැඩි තද වැසි මෙන්ම ගිගිරුම් සහිත වැසි ද ඇදහැලුණේ මිජවුම් සුළි කුණාටුවේ බලපෑමෙනි. ගිගිරුම් සහිත වැසි සමඟ තද සුළං තත්ත්වයක් ද හට ගත්තේය.

පසුගිය 4 වැනිදා සහ 5 වැනිදා වනවිට මිජවුම් සුළි කුණාටුවේ බලපෑම එල්ල වුයේ ඉන්දියාවටය. සුළි කුණාටුවෙන් වැඩියෙන්ම බැට කෑවේ තමිල්නාඩු සහ ආන්ද්‍රා ප්‍රදේශ් ප්‍රාන්ත වැසියන්ය. සුළි කුණාටුව හේතුවෙන් හටගත් ජල ගැලීම් සහ නායයෑම් නිසා 17 ක් ජීවිතක්ෂයට පත්වූහ. තමිල්නාඩු ප්‍රාන්ත අගනුවර වන චෙන්නායි, පොඩි වැස්සකටත් පිරී ඉතිරී යට වන ඉතාමත් අපිරිසුදු ජනාකීර්ණ නගරයක් බව අමුතුවෙන් කිව යුතු නැත. එහෙයින්, මිජවුම් සුළි කුණාටුව සමඟ ඇද හැලුණු මහ වැස්ස, චෙන්නායි නුවර කටයුතු මුළුමනින්ම අඩපණ කර දැමුවේය.  චෙන්නායි ජාත්‍යන්තර ගුවන්තොටුපොළ වසා දැමීමට බලධාරීන්ට සිදුවූයේ ගුවන් තොටුපොළ ද ජලයෙන් යටවීමෙනි. ජලය පිරුණු ධාවන පථවල, ගුවන්ගත වීමට නොහැකිව, ගුවන් යානා නවතා තිබෙන අයුරු ඉන්දීය පුවත් සේවා ඔස්සේ දකින්න ලැබුණි. ගමනාන්තයට යාගත නොහැකිව අසරණ වී කොටුවුණු මගීන්, ඩලයෙන් යටවී ගිය ගුවන්තොටුපොළ පර්යන්තය තුළ රැඳී සිටිනු දකින්න ලැබුණි. තද වැසිසහ සුළං නිසා අවලංගු කළ ගුවන් ගමන් වාර ගණන 31 කි. චෙන්නායි පැමිණෙන්න වූ ගුවන් යානා අසල්වැසි කර්ණාටක ප්‍රාන්තයේ බැංගලූර් නගරයේ ගුවන් තොටුපොළට හරවා යැවීමට බලධාරීන්ට සිදුවිය.

මහ වැසි සහ ජල ගැලීම් හේතුවෙන් පාසල් දින දෙකක් සියල්ල වසා දැමුණි. චෙන්නායි නගරයේ දුම්රිය ගමන් වාර රැසක් ද අවලංගු කෙරුණු අතර, මගීන් මහත් සේ පීඩාවට පත් විය. මහා මාර්ග සියල්ලම පාහේ ජලයෙන් යටවී යෑමෙන් ගමනාගමනය තවත් අඩාල විය. මෝටර් රථ, ත්‍රීරෝද, යතුරු පැදි මාර්ගවල සිරවී යටවී තිබෙනු දකින්න ලැබුණි. මිජවුම් සුළි කුණාටුව තමිල්නාඩුව පසු කර යද්දී, එහි බලපෑම ඔඩීෂා, තෙලංගනා යන ප්‍රාන්තවලට ද දැනෙන්න පටන් ගත්තේය. 2015 වසරෙන් පසු චෙන්නායි අගනුවරට බලපෑ දරුණුතම වර්ෂාපතනය මෙය යැයි කාලගුණ විද්‍යාඥයෝ පැවැසූහ. තමිල්නාඩු ගම්මාන අසල ගංගා පිරී ඉතිරී යද්දී, කිඹුල්ලු ගම්මානවල සැරිසරන දසුන් ද මාධ්‍ය ඔස්සේ දකින්න ලැබුණි. තද සුළඟින් ගස් කඩා වැටී තමිල්නාඩු නගර රැසක විදුලිබල සැපැයුමට ද බාධා එල්ල තිබුණි. 

තමිල්නාඩුව කැලැඹීමනේ අනතුරුව, පැයට කිලෝ මීටර් 110 ක පමණ වේගයකින්, මිජවුම් සුළි කුණාටුව, දකුණු වෙරළ තීරය දිගේ ආන්ද්‍රා ප්‍රදේශ් ප්‍රාන්තයට කඩා වැදුණේ 5 වැනිදා පෙරවරුවේය. ආන්ද්‍රා ප්‍රදේශ් ප්‍රාන්තයේ බාපට්ලා පලාතට එයින් දැඩි හානි සිදුවිය. කුණාටුවේ බලපෑම හේතුවෙන් අවට මුහුද රළු විය. මීටර් 1.5 ක් උස මුහුදු රළ දකින්න ලැබුණි. එදින පස්වරුවේ සුළි කුණාටුව, තව තවත් රට තුළට ගමන් කරන්න වූ අතර, අන්ද්‍රා ප්‍රදේශ් ප්‍රාන්ත බලධාරීන් එරට දිස්ත්‍රික් 8 කට රතු නිවේදන නිකුත් කර තිබුණි.

මිජවුම් සුළි කුණාටුව සම්බන්ධයෙන්, කාලගුණ විද්‍යාඥයන් කල් ඇතිව කළ අනතුරු ඇඟවීම් හේතුවෙන්, ආන්ද්‍රා ප්‍රදේශ් ප්‍රාන්තයේ දකුණු වෙරළ තීරය අවට පදිංචි 21,000 ක් දෙනා ආරක්ෂිත ස්ථානවලට යොමු කෙරුණි. නොකඩවා මහ වැසි ඇද හැලෙද්දී, ආන්ද්‍රා ප්‍රදේශ් ප්‍රාන්තයේ නගර බොහොමයකට සැඬ ජල පහර, සුනාමි රළ සේ කඩා වැදී, මෝටර් රථ සහ යතුරු පැදි පවා ගසාගෙන යන්න විය. කුඩා මෝටර් රථ පාවෙන්න වූයේ කඩදාසි බෝට්ටු මෙනි. ඒවා තැන්තැන්වල එක පොදියට ගොඩ ගැසුණි. නිවාස, ගොඩනැගිලි, මහල් නිවාස ආදිය ජලයෙන් යට විය.

සුළි කුණාටුව ඉන්දියාව දෙසට හමා එන බව කාලගුණ විද්‍යාඥයන් අනතුරු අඟවීමත් සමඟ ඊට මුහුණ දීමට ප්‍රාන්ත බලධාරීන් සූදානම් කිරීම ඉන්දීය ආපදා කලමණාකරන දෙපාර්තමේන්තුව හරහා සිදුවිය. ඒ, ස්වදේශ කටයුතු අමත්‍යාංශයේ ද අධීක්ෂණය යටතේය. ඩුබායි හි පැවැත්වෙන ජගත් දේශගුණික සමුළුවට සහභාගී වෙමින් සිටි ඉන්දීය අග්‍රාමාත්‍ය මෝදි නිරන්තරයෙන් ස්වදේශ කටයුතු අමත්‍යාංශය සමඟ සම්බන්ධ වී, සුළි කුණාටුවෙන් එල්ල වන බලපෑම සම්බන්ධයෙන් තොරතුරු විමසා බැලුවේය. ආපදා තත්ත්වය හමුවේ සහන කඳවුරු 300 ක් ස්ථාපිත කෙරුණි. විපතට පත්වූවන්ට ආධාර ලබා දීම පොලිසියේ සහ හමුදාවේ ද දහාය අතිව සිදුවුණු නමුත්, විපතට පත්වුණු වැසියන් චෝදනා නගන්න වූයේ ආධාර බෙදා දීම ක්‍රමාණුකූලව සිදු නොවුණු බවය.

ඉන්දීය මාධ්‍ය ඇසුරිනි


RECOMMEND POSTS