ඉන්දියාවේ ’කැප්සියුල් මිනිසා’



ගැඹුරු නළ ලිං කුහරවලට වැටී සිරවුණු කුඩා දරුවන් ගැන නිතරම පාහේ අපට අසන්න ලැබෙන්නේ අසල්වැසි ඉන්දියාවෙනි. එසේ අකරතැබ්බවලට මුහුණ දෙන දරුවන්ගේ කතාන්දර සැමවිටම සතුටුදායක ලෙස අවසන් වී නැත. හඳට යානා යැවීමට ඉන්දියාව සමත් වුවත්, නළ ළිං කුහරවල සිරවුණු දරුවන් බේරා ගැනීමට බැරි යැයි ඒ සෑම අවස්ථාවකදීම ඉන්දියාවට විවේචන එල්ල වෙයි. පසුගිය දිනෙක, ඉන්දියාවේ උත්තරකාන්ද් ප්‍රාන්තයේ ඉදි කෙරමින් තිබෙන උමං මාර්ගයක් කඩා වැටී, ඉදිකිරීම් කම්කරුවෝ 41 දෙනෙක් ඒ තුළ දින 17 ක් සිරවී සිටියහ. අති නවීන තාක්ෂණයෙන් පිරි යන්ත්‍ර සූත්‍ර පවා ඔවුන් මුදාගැනීමට අපාහොසත් වෙද්දී, ඔවුන් මුදා ගැනීමට සමත් වූයේ මී ගුල් කණින්නන් ලෙස හැඳින්වෙන පතල් කැණීමේ ශූරයන් සය දෙනකුගෙන් යුත් කණ්ඩායමකි‍. එය සැබැවින්ම වික්‍රමයකි.

මීට වසර 34 කට පෙර ද එවැනිම වික්‍රමයක් සිදුවිය. ඉන්දියාවේ ගල් අඟුරු පතලක අනතුරක් සිදුවී, සේවකයෝ 65 දෙනක් ඒ තුළ සිරවූහ. සියලු බලාපාරොත්තු අතහැර තිබියදී, ඔවුන් බේරා ගැනීමට එක් නිර්භීත ඉංජිනේරුවෙක් ඉදිරිපත් විය. ඔහු සීක් ජාතික ජස්වාන්ත් සිං ගිල් ය. සෑම වසරකම නොවැම්බර් 16 වැනිදා ඉන්දියානුවන් 'ගලවා ගැනීමේ දිනය' ලෙස සමරන්නේ ජස්වාන්ත් සිං ගිල්ගේ වික්‍රමය සිහි කරමිණි; ඔහුගේ නිර්භීතකමට ගෞරව කරමිණි. ගිල්ගේ වීර ක්‍රියාව ඇගයීමට ලක් කරමින් එවකට ඉන්දීය ජනාධිපති ඔහුට වීර පදක්කමක් ද පිරිනැමුවේය. ජීවතුන් අතර සිටින අයකුට මෙම වීර පදක්කම පිරිනැමුණු පළමු අවස්ථාව මෙය ලෙස සැලකෙයි. ඉන්දියානුවන් බොහෝ දෙනා ජස්වාන්ත් සිං ගිල් හඳුනන්නේ ‘කැප්සියුල් මෑන් Capsule Man’ (කැප්සියුල් මිනිසා) යන නමිනි. මේ ඔහුගේ වික්‍රමයයි.

ගල් අඟුරු පතල් සම්බන්ධයෙන් වසර 2,000 ක් තිස්සේ නමක් දිනා සිටින්නේ සුද්දන්ය; බ්‍රිතාන්‍ය ජාතිකයන්ය. 1575 දී ස්කොට්ලන්ත ජාතික ශ්‍රීමත් ජෝර්ජ් බෲස්, නව අදහසක් ඉදිරිපත් කරමින් පතල් කැණීම් කටයුතු සිදුවෙමින් පැවැති ආකාරය වෙනස් කළේය. අඩි 40 ක පතල් ළිදක් තවත් පතල් ළිං දෙකකට සම්බන්ධ කිරීමෙන්, පතල් පද්ධතියක් නිර්මාණය මෙම නව අදහසය. එමගින් පතල තුළට හොදින් වාතාශ්‍රය ලැබීම, මෙන්ම අපවහන ජලය බැහැර කිරීම ද පහසුවෙන් මෙන්ම ක්‍රමාණුකූලව සිදු වෙයි.  බ්‍රිතාන්‍යයෙන් ආරම්භ වූ මෙම නවෝත්පාදන තාක්ෂණ, අදත් ගල් අඟුරු ආකරවල බහුලව භාවිත වෙයි. ගල් අඟුරු පතලක්, භූගතව විශාල පතල් පද්ධතියක් බවට පරිවර්තනය වන්නේ මෙම ක්‍රමයට අනුව සිදුවන හෑරීම් නිසාය.

භාරතයේ, එසේත් නැතිනම් ඉන්දියාවේ පළමු ගල් අඟුරු පතල පිහිටුවීම සිදුවූයේ රාණිගන්ජ්හිදීය. එහි පුරෝගාමීන් වූයේ ‘ඊස්ට් ඉන්දියා කොම්පැනි’ ය යටතේ වැඩ කළ බ්‍රිතාන්‍ය ජාතිකයන්ය. ජෝන් සම්නර් සහ ග්‍රාන්ට් හීට්ලි ඒ අතරින් කැපී පෙනෙයි. ඉන්දියාවේ ගල් අගුරු වෙළෙදාම බිහිවූයේ බ්‍රිතාන්‍යයන්ගේ බලපෑමෙන් බව පැහැදිලිය. පතල් කටයුතුවල නියැලුණු නිලධාරීන්ට හිමිවූයේ විශේෂ ගෞරවණීය සැලකිල්ලකි. ඩන්බාද් නුවර, පතල්කරුවන් පුහුණු කිරීම වෙනුවෙන් විශේෂ පාසලක් (අද මෙය ඉන්දියාවේ පිළිගත් විශ්ව විද්‍යාලයකි.) පිහිටුවීම සිදුවූයේ ලන්ඩන් නුවර රාජකීය පතල්කරුවන්ගේ පාසල ආභාෂයට ගනිමිනි. කිලෝ මීටර් 6,000 ක දුරකින් පිහිටි, එංගලන්තයේ සහ ඉන්දියාවේ පතල් කැණීම් කටයුතු එකිනෙකට වෙනස් වුවත්, පතල් කර්මාන්තයේ නියැලුණු සියලු දෙනා එක් පොදු අභියෝගයකට මුහුණ දුන්නේය. ඒ පතල් තුළ සිදුවන අනතුරුය.

ගල් අඟුරු දෛනික ජීවිතයේ කොටසක් වී හමාරය. ගල් අඟුරු නිර්මාණය වීමට මිලියන ගණනක් ගතවෙයි. ගල් අඟුරු බහුලව යොදා ගැනෙන්නේ බලශක්ති උත්පාදනයටය. සිමෙන්ති, කඩදාසි සහ ඇලුමිනියම් කර්මාන්තවලට ද ගල් අගුරු යොදා ගැනෙයි. ගල් අගුරු කැණීම, ගල් අගුරු පතලක සේවය කිරීම යනු මනුෂ්‍යයකුට කිරීමට සිදුවන අනතුරුදායකම රැකියාවකි. ඕනෑම මොහොතක අනතුරක් සිදුවී මීටර් ගණනක් පොළොව යට පණ පිටින් වැළලීමට ඉඩ ඇත. ඉන්දියාවේ ගල් අගුරු කර්මාන්තයට ඇත්තේ පුරාණ ඉතිහාසයකි. රාණිගන්ජ් ගල් අගුරු පතල යනු ඉන්දියාවේ ඇති දෙවැනි විශාලතම ගල් අගුරු පතලය. පළමු ස්ථානය හිමිවන්නේ, ජර්කාන්ද් ප්‍රාන්තයේ ජර්කන්ද් පතලය. රාණිගන්ජ් ගල් අගුරු පතල සොයා ගැනීම සිදුවූයේ 1774 වසරේ දී, අද වනවිට මෙම ගල් අගුරු පතල පිහිටා ඇත්තේ බටහිර බෙංගාලයේ, පශ්චිම් බර්ඩ්මාන් දිස්ත්‍රික්කයේ ආසන්සෝල් සහ දුර්ගාපෝල් පළාත් අතරේය. 1820 දී රාණිගන්ජ් ගල් අගුරු පතලේ කැණීම් ආරම්භ කෙරුණි. 19 වැනි සහ 20 වැනි සියවසේ ඉන්දියාවේ ප්‍රධානතම ගල් අගුරු පතල ලෙස සැලකුණේ මෙයයි. රාණිගන්ජ් ගල් අගුරු පතල වර්ග කිලෝ මීටර් 113.50 ක් පුරා විසිරී පැතිරී පවතී. ගල් අගුරු සංචිත ටොන් බිලියන 49.17 ක් බටහිර බෙංගාලයේ සිට ජර්කාන්ද් දක්වා මෙය විසිරී පවතී. මෙම මහා පතල තුළ එක් එක් සමාගම්වලට අයත් කුඩා පතල් රැසකි.

1989 නොවැම්බර් 12 වැනිදා, වේලාව රාත්‍රී 11.35, ඊස්ටර්න් කෝල්ෆීල්ඩ්ස් සමාගමට අයත් රාණිගන්ජ් මහබීර් පතල.

රාත්‍රී සේවා මුරයට පතල් සේවකයෝ සූදානමින් පෙළ ගැසී සිටියහ. ජරබර හඩින් ඉහළට ආ සෝපානවල කිටි කිටියේ සිරවී සිටි පිරිස් පිටව යද්දී, නව සේවා මුරය ආරම්භ කරමින්, පතල් සේවකයෝ පිරිසක් සෝපානවල සිරවී පහළ අඳුර බලා ගමන් කළහ. මීටර් 320 ක් පමණ පහළින් සේවා මුර කීපයක් යටතේ වැඩ කටයුතු සිදුවෙමින් පැවැතිණි. ගල් අගුරු කැණීම කළේ එක් පිරිසකි. ඒවා කුඩා රේල් පාර්ක් දිගේ ඩක්කුවලට පටවාගෙන තල්ලු කළේ කවත් පිරිසකි. ගල් අගුරු පිරවූ ඩක්කු ඉහළට ගෙන යෑම කළේ තවත් පිරිසකි.

නොවැම්බර් 13 වැනිදා අලුයම 4 ට පමණ, කැණීම් කටයුතු සිදු කරන්න වූ පතල් සේවකයෝ, පතලේ ගල් අඟුරු බිත්ති කැඩීමට පුපුරන ද්‍රව්‍ය අටවා පිපිරීම් කීපයක් සිදු කළහ. පතල කණිමින් ඉදිරියට යෑම සිදු කරන්නේ මෙලෙස පිපිරීම් කරමිනි. පිපිරීමෙන් පසු එම ස්ථානය පරීක්ෂා කරද්දී පෙනී ගියේ පිපුරුමෙන් පතල් බිත්තිය ඉරිතලා ගොස් ඇති බවත්, ජලය සෙමින් කාන්දු වීමට පටන්ගෙන ඇති බවත්ය. අනතුරු ඇඟවීමටත් පෙර, බිත්ති පුපුරා මහා ජල කඳක් පතල් කුහරයට කඩා වැදුණි. පතල් කුහර ජලයෙන් පිරී යද්දී, බේරී ඉහළට යෑමට හැකිවූයේ සෝපාන අසල සිටි සේවකයන් පමණි. කලබල වී එකිනෙකා පෙරළා ගනිමින්, කෙසේ හෝ බේරී ඉහළට ආ පතල්කරුවන් ගණන 161 කි. එසේ වුවත් 71 දෙනකු පතල තුළ සිරවූහ. එම 71 දෙනාගෙන් 65 දෙනකු ජලය කාන්දු වෙමින් තිබූ කොටසට ඉහළින් රැකවරණය ලැබූහ. සෙසු පිරිසට දිවි අහිමි විය. ජල මට්ටම ඉහළ නගින්න වූ අතර, ඔක්සිජන් මට්ටම පහළ යන්න විය.

පතල් අනතුර සිදුවී පැය දෙකක් පමණ ගතවී තිබුණි. උදෑසන 6.15 ට ඩන්බාද් නුවර තරුණ ඉන්ජිනේරුවකු රැකියාව බලා යමින් සිටියේය. ඔහු ජස්වාන්ත් සිං ගිල් ය. පතල්කරුවන් සිරවී සිටිනවා යැයි දැනගත් සැණින් ගිල් පතලට පැමිණියේය. ජස්වාන්ත් සිං ගිල් උපත ලබා ඇත්තේ, 1939 නොවැම්බර් 22 වැනිදා පන්ජාබයේ, අම්රිත්සාර් නුවර සතියාලා ගම්මානයේය. ඔහු මූලික අධ්‍යාපනය ලැබුවේ අම්රිත්සාර් කස්ලා විද්‍යාලයෙනි. තාක්ෂණවේදී උපාධිය හිමිකර ගත්තේ බ්‍රිතාන්‍ය පාලනය යටතේ ස්ථාපිත කළ ඩන්බාද් පතල් කටයුතු පිළිබඳ විශ්ව විද්‍යාලයෙනි. අද මෙම විශ්ව විද්‍යාලය හැඳින්වෙන්නේ ඩන්බාද් ඉන්දීය තාක්ෂණ ආයතනය Indian Institute of Technology Dhanbad යනුවෙනි. ජස්වාන්ත් සිං ගිල්, ඉංජිනේරුවකු ලෙස පළමුවෙන් රැකියාව කළේ ‘කරම්චන්ද් චාපා සහ සහෝදරයෝ’ සමාගම යටතේය. 1989 වසරේ දී, රාණිගන්ජ් පතල් අනතුර සිදුවන අවස්ථාවේ, ඔහු ‘කෝල් ඉන්දියා ලිමිටඩ්’ Coal India Ltd සමාගමේ පතල් තැණීම් සම්බන්ධ අතිරේක ඉංජිනේරුවකු ලෙස සේවය කරන්න විය.

ඒ වනවිට, පතල් කැණීම් කටයුතු පිළිබඳ බ්‍රිතාන්‍ය ජාතික විශේෂඥයන් දෙදෙනකු එහි පැමිණ තීරණය කර තිබුණේ සිරවුණු සියලු දෙනා මිය යන්න ඇති බවය. ඒ, පතල තුළ ජල මට්ටම වේගයෙන් ඉහළ යෑමත්, පතල් බිත්ති කඩා වැටීමටත් පටන් ගෙන තිබුණු බැවිනි. පතල ඉදිරිපිට එකම ගාලගෝටිටියක් විය. පතල් සේවකයන්ගේ පවුල්වල සාමාජිකයෝ පතල් හිමිකරුවන් සමඟ ගැටුම් ඇති කර ගන්න වූහ. ඔවුහු නවතා තිබූ මෝටර් රථවලට සහ යතුරු පැදිවලට ගිනි තබන්න පටන් ගත්හ. ‘මම ආවේ උදවු වෙන්න. මොනවද මට කරන්න පුළුවන්’ යැයි ජස්වාන්ත් සිං ගිල්, පතලේ මෙහෙයුම් කටයුතු ගොබර්දාන් රෝයි ට පවසද්දී, එය ගොබර්දාන් රෝයි ට මහත් අස්වැසිල්ලක් විය.

පතල් සේවකයන් පණ පිටින් සිටිනවා යැයි යන දැඩි විශ්වාසයෙන් යුතුව ජස්වාන්ත් සිං ගිල් සිය සැලැස්ම ඉදිරිපත් කළේය. අතිරේක කනිෂ්ඨ දිවි ගලවා ගැනීමේ ඉංජිනේරුවකු ලෙස එදා සේවය කරමින් සිටියත්, ජස්වාන්ත් සිං ගිල් ට කන් දීමට ගොබර්දාන් රෝයි කටයුතු කළේය. ඒ අනුව, මිනින්දෝරුවකුගේ ද සහාය ඇතිව පතලේ ඉහළම ස්ථානයට ගොස්, එහි සිට මීටර් 320 ක් පහළට සිදුරක් කැණීම කළේය. ඉන්පසු එම සිදුර හරහා වානේ නළයක් පහළට දමා, රැහැනකට සම්බන්ධ කළ විදුලි පන්දමක් පහළට යැවීය. දිවි ගලවා ගැනීමට සමත් වූ පතල් සේවකයන්ට එම සිදුර සහ විදුලි පන්දම සොයා ගැනීමට පැය කීපයක් ගතවිය. 65 දෙනා යහතින් සිටින බව තහවුරු විය. දිවි ගලවාගත් පිරිස සහ ඉහළ සිටින ජස්වාන්ත් සිං ගිල් ප්‍රමුඛ දිවි ගලවා ගැනීමේ කණ්ඩායම අතරේ දුරකතන මාර්ගයක් ස්ථාපිත කෙරුණි. ඒ, පහළට දැමූ නළය හරහාය. පතල් සේවකයන්ගේ පවුල්වල සාමාජිකයන්ට ද එම දුරකතන මාර්ගය ඔස්සේ කතා කරන්න විය. විදුලි පන්දම් සහ ආහාර සහ පානීය ජලය ද පහළට යැවීම සිදුවිය.

ජස්වාන්ත් සිං ගිල්ගේ සැලැසුමට අනුව, අඩි 6 ක් පළල, සෙන්ටිමීටර් 21 ක වට ප්‍රමාණයක යකඩ කැප්සියුලක් නිර්මාණය කෙරුණි. ඒ පැය කීපයකිනි. කුඩා දොරක් ඊට සවි කෙරුණු අතර මනුෂ්‍යයකුට ඒ තුළ සිටගෙන සිටීමට ප්‍රමාණවත් විය. පසුව, පහළ සිරවී සිටි පතල් සේවකයන් මුදා ගැනීමට යොදා ගැණුනේ මෙම කැප්සියුලයයි. ‘ඒක නම් හරියන වැඩක් නොවේ’ යැයි දිවි ගලවා ගැනීමේ කණ්ඩායමේ සිටි බොහෝ දෙනකු ජස්වාන්ත් සිං ගිල්ගේ සැලැස්ම විවේචනය කරද්දී, 16 වැනිදා අලුයම 2.30 ට පමණ, කැප්සියුලයට ගොඩ වී පහළ පතලට යෑමට ජස්වාන්ත් සිං ගිල් තීරණය කළේ දිවි පරදුවට තබමිනි. ඒ අනුව ඔහු එසේ කළේය. පැය 24 කට වැඩි කාලයක් අඳුරේ සීතලේ සිරවී සිටින පතල් සේවකයන් අතරට ඔහු ද එක් වූයේ එම පිරිසට බලාපොරෙත්තුවක් එක් කරමිණි. පළමුවෙන් ඉහළට යන්නේ කවුරුන්දැයි සේවකයන් අතරේ වාද විවාද පැවැත්වෙද්දී ඒ සියල්ල සමතයකට පත් කරමින්, බියෙන් කලබල වුණු පතල් සේවකයන් සන්සුන් කළේ ද ජස්වාන්ත් සිං ගිල් ය‍.

ඉහළ රැස්ව සිටි පිරිස දෙවියන්ට සිහිකරද්දී, මරණය පෙනි පෙනී සිරවී සිටි සේවකයන් 65 දෙනා, වරකට එක්කෙනකු බැගින් ඉහළට එසවීම සිදුවිය. කැප්සියුලට පහළට යැවීම සහ ඉහළට එසවීම සිදුවූයේ ටොන් 12 ක් බර දොඹකරයක ආධාරයෙනි. ඒ, එය ඉක්මනින් සිදුවිය යුතු බැවිනි. අවසානයේ පහළ පතල්කරුවන් සිටි කොටසට ද ජලය කාන්දු වෙද්දී, අවසන් වශයෙන් කැප්සියුලයේ නැගී ඉහළට ආවේ ජස්වාන්ත් සිං ගිල් ය.  නොවැම්බර් 16 වැනිදා උදෑසන 8.30 වෙද්දී, පතල තුළ සිරවී සිටි පතල් සේවකයන් බේරා ගැනීම අවසන් වී තිබුණි. ජස්වාන්ත් සිං ගිල්, පතල් සේවකයන්ගේ පමණක් නොව, ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්ගේ ද එනම ගැලවුම්කරුවා විය. ඔහු ඔවුන්ට දෙවියකු විය. අවසානයේ කැප්සියුලයෙන් එළියට ආ ජස්වාන්ත් සිං ගිල් ප්‍රීති ඝෝෂා මැද ඔසවාගෙන යෑම සිදුවූයේ කර මතිනි.

ජස්වාන්ත් සිං ගිල්, දිවි පරදුවට තබා කළ ඒ වීර ක්‍රියාව ඇගයීමට ලක්විය. ඔහුට වීර පදක්කම් රැසක් හිමිවිය. 1991 දී එවකට ඉන්දීය ජනාධිපතිවරයා වූ රාමාස්වාමි වෙන්කටරාමන් අතින්, සර්වොත්තම් ජීවන් රාක්ෂා පදාක් වීර පදක්කම පිරිනැමීම ද සිදුවිය. ‘කැප්සියුල් මිනිසා’ ජස්වාන්ත් සිං ගිල්ගේ වීර ක්‍රියාව ඇගයීමට ලක් කරමින් සෑම වසරකම නොවැම්බර් 16 වැනිදා, ‘රෙස්කියු ඩේ’ එසේත් නැතිනම්, ‘ගලවා ගැනීමේ දිනය’ ලෙස නම් කර තිබේ. අම්රිත්සාර් නුවර, මාර්ගයක් ද ජස්වාන්ත් සිං ගිල්ට ගෞරව පිණිස ඔහුගේ නමින් නම් කර තිබේ.  අම්රිත්සාර් වැසියන් ඔහු හඳුන්වන්න වූයේ ‘කැප්සියුල් ගිල්’ නමැති ආදර නාමයෙනි. දිවි ගලවා ගැනීමේ මෙහෙයුමට යොදා ගත් යකඩවලින් තැනූ කැප්සියුලයේ අනුරුවක් නගරයේ ප්‍රදර්ශනයට තබා තිබේ. නොවැම්බර් මාසය ජස්වාන්ත් සිං ගිල්ගේ ජීවිතය හා බැඳී පවතින බව පෙනෙයි. ජස්වාන්ත් සිං ගිල් දිවියෙන් සමුගත්තේ 2019 වසරේ නොවැම්බර් 26 වැනිදාය.

අද ජස්වාන්ත් සිං ගිල් යළිත් පුවත් මැවීමට සමත් වී සිටී. ඒ, පසුගිය ඔක්තෝබර් 6 වැනිදා තිරගත කිරීම් ආරම්භ කළ ‘මිෂන් රාණිගන්ජ්: ද ග්‍රේට් භාරත් රෙස්කියු’ Mission Raniganj: The Great Bharat Rescue චිත්‍රපටයට පාදක වන්නේ, රාණිගන්ජ් පතලේ සිරවුණු පතල්කරුවන් බේරා ගන්නා වික්‍රමය නිසාය. මෙය, බොලිවුඩ් සිනමාකරුවකු වන ධර්මේන්ද්‍ර ටීනු සුරේෂ් දේශායිගේ අධ්‍යක්ෂණයකි. චිත්‍රපටයේ සීක් ඉන්ජිනේරු ජස්වාන්ත් සිං ගිල්ගේ චරිතයට පණ පොවන්නේ, බොලිවුඩයේ ජනප්‍රිය නළු ආක්ෂේ කුමාර්ය. ජස්වාන්ත් සිං ගිල්ගේ බිරිඳ නිර්දෝෂ් කෝර් ගිල්ගේ චරිතය නිරූපණය කරන්නේ පර්නීති චොප්රා ය. කුමුද් මිශ්‍රා, රවි කිෂාන් ආදිහු චිත්‍රපටයට එක් වී සිටිති. සැබෑ ඉන්දියානු වීරයන්ගේ චරිත රිදී තිරයට ගෙන ඒමේ දක්ෂයකු ලෙස ආක්ෂේ කුමාර් හැඳින්විය හැකිය.‍ එහෙයින්, ‘මිෂන් රාණිගන්ජ්: ද ග්‍රේට් භාරත් රෙස්කියු’ Mission Raniganj: The Great Bharat Rescue හෙවත් ‘කැප්සියුල් මිනිසාගේ වික්‍රමය’ ද සැබැවින්ම සිත් ඇදගන්නාසුළු චිත්‍රපටයකි.

Raniganj Coalfield
True Story ඇසුරිනි

RECOMMEND POSTS