ඒක වෙනස්ම විදියේ මගුලක්



එය එසේ මෙසේ මඟුලක් නොවීය. ‘සන්තොෂ් ගාඩ්න්’ උත්සව ශාලාව පිහිටියේ, දිල්ලියේ, තිහාර් බන්ධනාගාරයේ සිට කිලෝ මීටර් 7 ක් දුරින් ද්වර්කා පළාතේය. ඒ වනවිට, මංගල උත්සවය වෙනුවෙන් සියලු කටයුතු හරි හරියට සූදානම් කර තිබුණි. උත්සව ශාලාව පොලිස් සහ බන්ධනාගාර නිලධාරීන් විසින් වට කරනු ලැබ තිබුණි. පොලිසියේ හෝ බන්ධනාගාර නිලධාරීන්ගේ අවසරයකින් තොරව, ‘සන්තොෂ් ගාඩ්න්’ උත්සව ශාලාවට, උත්සව ශාලාව අසලට හෝ උත්සව ශාලාව පසු කර යෑමට හැකිවුණේ නැත. ‘මෙතරම් ආරක්ෂාවක් මෝදිටවත් නැහැ’ යැයි උත්සව ශාලාව ඉදිරිපිට රැස්කමින් සිටි මාධ්‍යවේදීන් කියනු ඇසුණි.

උත්සව ශාලාව වට කරගත් පොලිස් නිලධාරීන්ගේ සහායට, ‘අපි ඕනෑ දෙකට ඔට්ටුයි’ කියා ගනිමින්, නවීන පන්නයේ ගිනි අවි අමෝරා සිටි කමාන්ඩෝ සෙබළුන්ය. කමාන්ඩෝ සෙබළුන්ට සහ බන්ධනාගාර නිලධාරීන්ට අමතරව, ‘සන්තොෂ් ගාඩ්න්’ උත්සව ශාලාවට පැමිණ සිටි පොලිස් නිලධාරීන් ගණන 200 කි. ඔවුන්ගේ සහායට පොලිස් නිල සුනඛ කන්ඩායමක් ද පැමිණ තිබුණි

‘සන්තොෂ් ගාඩ්න්’ උත්සව ශාලාවට පිවිසෙන දොරටු  අසල ‘මෙට්ල් ඩිටෙක්ටර්’ යන්ත්‍ර අටවා තිබුණි. මංගල උත්සවයට පැමිණි අමුත්තන්, පළමුවෙන් අතපත ගෑමට ලක් විය. හැඳුනුම්පත් සහ ‘ආධාර කාඩ්පත්’ පරීක්ෂාවට ලක් කෙරුණේ ඡන්දය දැමීමට ඡන්ද දායකයන් ඡන්ද පොළකට ආ අයුරු සිහි ගන්වමිනි. ‘සන්තොෂ් ගාඩ්න්’ උත්සව ශාලාවට පැමිණි ආරාධිත අමුත්තන් ගණන 250 කි.

සීසීටීවී ආරක්ෂක කැමරා හැමතැනමය. ගුවනේ නියමුවන් රහිත කුඩා ඔත්තු නිරීක්ෂණ  ඩ්‍රෝන යානා සැරිසරන්න විය. අමුත්තන්ය අමතරව, උත්සව ශාලාවේ හිමිකරු ඇතුළු කළමනාකාරීත්වය, කෝකියන් අත්උදවුකරුවන් සහ සේවක සේවිකාවන් දැඩි ලෙස පරීක්ෂාවට ලක් කෙරුණි. පොලිස් නිලධාරීන් උත්සව ශාලාවේ පිරිස ගැන සෙවිල්ලෙන් පසුවූයේ දින ගණනක් තිස්සේය.

සැබැවින්ම එය එසේ මෙසේ මඟුලක් නොවිණි.

නියමිත වෙලාවට රිය පෙරහර පැමිණියේය. ඒ පොලිස් ජිප් රථ පෙළකි. ඒ, බන්ධනාගාර නිලධාරීන් සහ පොලිස් නිලධාරීන් පුරවා ගත් ජිප් රථ විය. නිලධාරීන් සමඟ පැමිණියේ මනාල මහතා ය. මනාල මහතාගේ ඇගේ ඇතිල්ලි ඇතිල්ලී ආවේ බන්ධනාගාර නිලධාරීන්ය. මනාල මහතා, ඉන්දියාවේ දරුණු ගණයේ, ප්‍රබලතම අපරාධ කල්ලි සාමාජිකයෙකි. අපරාධ කල්ලි නායකයෙකි.ඔහු ‘ගැන්ස්ටර් සන්දීප්’ නොහොත් කාල ජිතේඩිය.

ඉන්දියාවේ හර්යානා ප්‍රාන්තයේ මිනීමැරුම්, පුද්ගල පැහැර ගැනීම් සහ කප්පම් ගැනීම් ඇතුළු චෝදනා රැසකට වදරකරු  වී සිටින අපරාධ කල්ලි නායක ‘ගැන්ස්ටර් සන්දීප්’ නොහොත් කාල ජිතේඩි ය.  නවදිල්ලි අධිකරණයක්, පසුගිය 11 වැනිදා කාල ජිතේඩි ට විශේෂ අවසරයක් ලබා දී තිබුණි. ඒ ඔහුගේ විවාහය වෙනුවන්, උදෑසන 10 සිට සවස 4 දක්වා කාලයේ, බන්ධනාගාර නිලධාරීන්ගේත් පොලිසියේත් ආරක්ෂාව යටතේ තාවකාලික නිදහසක් ලබා ගැනීමටය.  ඒ අවසරය පරිදි, මනාල මහතා ලෙස කාල ජිතේඩි, ‘සන්තොෂ් ගාඩ්න්’ උත්සව ශාලාවට රැගෙන ඒම සිදුවිය.

විවාහ මංගල උත්සවය සඳහා, කාල ජිතේඩි වෙනුවෙන් විශේෂ අවසරයක් ඉල්ලා සිටියේත්, ‘සන්තෝෂ් ගාඩ්න්’ උත්සව ශාලාවේ විවාහ මංගල උත්සවය සංවිධානය කළේත් ඔහුගේ නීතීඳාවරයා සහ මනමාලියගේ පාර්ශ්වයයි. ‘සන්තෝෂ් ගාඩ්න්’ උත්සව ශාලාව, ඉන්දීය රුපියල් 51,000ක් ගෙවා ​මංගල්‍යය වෙනුවෙන් වෙන් කරනු ලැබුවේ, කාල ජිතේඩිගේ නීතිඥවරයා විසිනි.

මනාලිය ද එසේ මෙසේ චරිතයක් නොවූවාය. කාල ජිතේඩි අපරාධ රජු නම්, ඔහුගේ අතගත් අනුරාධා චෞද්‍රි නොහොත් ‘මැඩම් මින්ස්’ යනු අපරාධ රැජිනය. දැඩි ආරක්ෂක රැකවල් මැද පැවැත් වූයේ කාල ජිතේඩි සහ අනුරාධා චෞද්‍රිගේ විවාහ මංගල්‍යයයි.

විවාහය සඳහා පැය කීපයක විශේෂ අවසරයක් කාල ජිතේඩි ට ලබා දීමට අධිකරණය තීන්දු කළේ, අපරාධකරුවකු ලෙස සෙසු අපරාධකරුවන් නීතියේ රැහැනට හසු කර ගැනීමට කාල ජිතේඩිගෙන් පොලිසියට උදවු උපකාර ලැබීම සැලකිල්ලට ගනිමින් යැයි පැවැසෙයි. කාල ජිතේඩි වෙනුවෙන් විශේෂ ආරක්ෂාවක් යෙදවීමට සිදුවූයේ ඔහු පලා යායි යැයි බියෙන් පමණක් නොව, වෙනත් අපරාධ කල්ලි සාමාජිකයන්, කාල ජිතේඩිගෙන් පළිගැනීමේ අරමුණින්, ඔහු ඉලක්ක කරගෙන ප්‍රහාරයක් එල්ල වේවි යැයි බියක් පැවැති බැවිනි.

කාල ජාතේඩි, හර්යානා ප්‍රාන්තයේ සෝනිපාට් ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. ඔහු පාසල් අධ්‍යාපනයට උනන්දුවක් දැක්වූ අයකු නොවේ. උසස් අධ්‍යාපනය යොමු නොවුණු ඔහු කේබල් ඔපරේටර්වරයකු ලෙස සේවය කරමින් සිටියදී අපරාධ සඳහා යොමුවිය. මුලින් ඔහු සොරකම් කළේ පොඩි පොඩි දේවල්ය. පසුව ඔහු මිනීමැරුම් නඩුවලට ද සම්බන්ධ විය. හර්යානා, පන්ජාබ්, රාජස්ථාන් සහ උත්තර් ප්‍රදේශ් යන ප්‍රාන්තවල මිනීමැරුම්, පැහැරගැනීම්, මංකොල්ලකෑම්, කප්පම් ගැනීම් සහ ඉඩම් කොල්ලකෑමේ සිද්ධීන් කිහිපයක ම චූදිතයෙක් විය. කොන්ත්‍රාත් ඝාතන සහ කප්පම් ගැනීම් කීපයකටද මැර කල්ලි කීපයකට ඔහු සම්බන්ධ විය. තිහාර් බන්ධනාගාරයට යැවීමට පෙර, පොලිස් අත්අඩංගුවේ සිටිද්දී, අවස්ථා කීපයකදී, කාල ජාතේඩි​ පොලිසියෙන් බේරී පලා ගිය බව ද පැවැසෙයි.

ජාතේඩි​ගේ මනාලිය අනුරාධා ප්‍රකට ඉන්දීය ව්‍යාපාරික ෆීලික්ස් දීපක් සමඟ විවාහ වී සිටි ඇත. ඒ, ෆීලික්ස් දීපක් බංකොලොත් වීමට පෙරය. විවාහය 2013 දී අවසන් විය. අනුරාධා චෞද්‍රි අපරාධ ලෝකයට පිවිසුණේ ඉන් පසුවය. ඇය රාජස්ථානයේ ප්‍රකට මැර කල්ලියක් වූ ආනන්ද් පාල් සිංගේ අපරාධ කල්ලියට සම්බන්ධ වී සිටි අතර, එහිදී ඇය ආනන්ද් සිං ට ඉංග්‍රීසි ඉගැන්වූ ගුරුවරියක වූවාය. කෙසේ වෙතත්, සිංගේ මරණයෙන් පසු, අනුරාධා ලෝරන්ස් බිෂ්නෝයි නමැති අපරාධ කල්ලි නායකයාගේ කල්ලියට එක් වූ අතර, එහිදී ඇයට කාල ජිතේඩි හමුවිය. එම හමුව ආදරයක් තෙක් දුරදිග ගියේය.

2021 දී දෙදෙනා පොලිස් අත්අඩංගුවට පත්වූයේ ද එකටය. කාල ජිතේඩිගේ මනාලිය වූ අනුරාධා චෞද්‍රි ඇපමත නිදහස ලබා සිටී. අනුරාධාගේ පාර්ශ්වය නියෝජනය කරමින්, ඇගේ සොහොයුරිය සහ සොහොයුරා මංගල උත්සවයට පැමිණි සිටියහ. තම අනාගත අරමුණ අපරාධ ජීවිතයට සමුදී රාජ්‍ය නොවන සංවිධානයක් ආරම්භ කර, සමාජයට යහපත් කිරීම යැයි අනුරාධා පවසා තිබේ.

ඉන්දීය මාධ්‍ය ඇසුරින්


RECOMMEND POSTS