විශාලතම තරුව



සෑම තත්පරයක් පාසාම විශ්වයේ කොතැනක හෝ තාරකාවක් ඉපදීම හෝ මියයෑම සිදුවෙයි. ඒ අනුව, විශ්වයේ ඇති මන්දාකිනි සහ තාරකා ගණන ගණනය කළ නොහැකිය. එක මන්දාකිනියක් තුළ තාරකා බිලියන ගණනක් හෝ ට්‍රිලියන ගණනක් ඇති බව විද්‍යාඥයෝ පැහැදිලි කරති. අප පෘථිවිය ද ඇතුළු සෞරග්‍රහ මණ්ඩලය අයත් මන්දාකිනි හැඳින්වෙන්නේ ක්ෂීරපථය එසේත් නැතිනම් කිරි සයුර යන නමිනි. හිරු අපේ තාරකාව ය. ගණනය කිරීමට පවා නොහැකි අති විශාල ප්‍රමාණයක් ඇති බැවින්, තාරකා විද්‍යාඥයන් විසින් විශ්වයේ ඇති මන්දාකිනි සහ තාරකා අධ්‍යයනය කරනු ලැබ ඇත්තේ සියයට එකකටත් වඩා අඩු ප්‍රමාණයකි. විශ්වයේ විවිධාකාරයේ තරු වර්ග ඇති අතර, මේ කියන්න සූදානම් වන්නේ විද්‍යාඥයන් විසින් සොයාගත් අධ්‍යයනය කළ විශාලතම තරුව ගැනය.

විශ්වයේ ඇති විශාලතම තාරකාව ලෙස, විද්‍යාඥයන් විසින් මේ වනවිට හඳුනාගෙන ඇත්තේ, UY Scuti (යූ.වයි. ස්කූටි) යන නමින් නම් කළ තාරකාවය. විශ්වය සම්පූර්ණයෙන්ම අධ්‍යයනය කර නොමැති බැවින්, මීට වඩා විශාල, තරු ඕනෑ තරම් තිබිය හැකිය. ඒත්, විද්‍යාඥයන් මෙතෙක් අධ්‍යයනය කර ඇති තාරකා අතරින් විශාලතම තාරකාව UY Scuti (යූ.වයි. ස්කූටි) බැවින්, මෙය විශාලතම තාරකාව ලෙස සැලකෙයි.

UY Scuti (යූ.වයි. ස්කූටි) ලෙස නම් කර ඇත්තේ, රතු සුපර් ජයන්ට් Red Super Giant Star තාරකාවකටත් වඩා විශාල, රතු හයිපර් ජයන්ට් Red Hyper Giant Star නමැති වර්ගීකරණයට අයත් අති විශාල තාරකාවකි. විශාල තාරකා හඳුන්වන්නේ රතු සුපර් ජයන්ට් Red Super Giant Star යනුවෙනි. රතු හයිපර් ජයන්ට් Red Hyper Giant Star යනු ඊටත් වඩා විශාලත්වයෙන් වැඩි තාරකාය.

UY Scuti (යූ.වයි. ස්කූටි) තාරකාව කොතරම් විශාලදැයි කීවොත්, එහි අරය, අප සූර්යයාගේ අරය මෙන් 1,706 ක් විශාලය. අප සූර්යයාගේ අරය කිලෝ මීටර් හය ලක්ෂ අනූ හය දහස් තුන්සිය හතලිහක් පමණි. UY Scuti (යූ.වයි. ස්කූටි) තාරකාව කොතරම් විශාලදැයි දැන් පැහැදිලි අවබෝධයක් ලබා ගත හැකිය. UY Scuti (යූ.වයි. ස්කූටි) තාරකාව අසලින් අපගේ සූර්යයා තැබුවොත්, අපගේ සූර්යයා පුංචි තිතක් පමණි. තවත් පැහැදිලි කළොත්, පුංචි ක්ෂුද්‍ර ජීවියකු තරම්ය. UY Scuti (යූ.වයි. ස්කූටි) තාරකාව, අපගේ සූර්යයාගෙන් පිරවීමක් කළොත්, එසේ පිරවීමට නම් අප සූර්යයන් බිලියන 5 ක් පමණ අවශ්‍ය වනු ඇතැයි තාරකා විද්‍යාඥයෝ පැහැදිලි කරති. එපමණක් නොව, UY Scuti (යූ.වයි. ස්කූටි) අප සූර්යයා පවතින සෞරග්‍රහ මණ්ඩලයේ මැදට ගෙනත් දැම්මොත්, බෘහස්පතිගේ කක්ෂය ආසන්නයට UY Scuti (යූ.වයි. ස්කූටි) විශාලය.

UY Scuti (යූ.වයි. ස්කූටි) තාරකාව, පෘථිවි තාරකා නිරීක්ෂණාගාර ආධාරයෙන් සොයා ගත්තේ ජර්මානු තාරකා විද්‍යාඥයන් පිරිසකි. ඒ අද ඊයේ නොවෙයි, ක්‍රිස්තු වර්ෂ 1860 වසරේදීය. පසුව, UY Scuti (යූ.වයි. ස්කූටි) සම්බන්ධයෙන් විවිධ අධ්‍යයන සිදුවිය. දින 740 කට වරක්, මෙම තාරකාව, ආලෝකය අඩු වැඩි වීමක් පෙන්නුම් කර ඇත. ආලෝකය මෙසේ අඩු වැඩි වන බැවින්, UY Scuti (යූ.වයි. ස්කූටි) තාරකාව අයත් වන්නේ විචල්‍ය තාරකා Variable Stars ලෙස හැඳින්වෙන තාරකා අතරටය.

UY Scuti (යූ.වයි. ස්කූටි) කක්ෂගත වී ඇත්තේ, අප මන්දාකිණියේ මධ්‍යයට තරමක් ආසන්නව, පෘථිවියේ සිට ආලෝක වර්ෂ 9,500 ක් තරම් දුරකිනි. මෙතරම් දුරකින් පිහිටා ඇති බැවින්, පෘථිවියේ සිට මෙම තාරකාව පහසුවෙන් නිරීක්ෂණය කළ නොහැකිය. UY Scuti (යූ.වයි. ස්කූටි) කොතකරම් විශාල තාරකාවක් වුවත්, තාරකාවේ මතුපිට උෂ්ණත්වය පවතින්නේ, කෙල්වින් 3‍,365 ක අගයකිනි. ඊට ප්‍රධානතම හේතුව තාරකාවේ, න්‍යෂ්ටික විලයන ප්‍රතික්‍රියාව ස්ථායි මට්ටමක නොපැවතීමත්, මේ වනවිට මෙම තාරකාව මියයමින් තිබීමත්ය.

විශ්වයේ ඇති වස්තූන් අතරේ දුර මැනීමට ප්‍රධාන වශයෙන් භාවිත කරන ඒකක කීපයකි. එයින් ද බහුලවම භාවිතයට ගැනෙන්නේ ආලෝක වර්ෂ  Light Year ය. ඊට අමතරව, පාසෙක්ස් Parsec සහ නක්ෂත්‍ර ඒකක Astronomical Unit ද භාවිතයට ගැනීම සිදුවෙයි.

ආලෝක වර්ෂයක් යනු කුමක්දැයි අප මුලින් බලමු. ආලෝක වර්ෂයක් යනුවෙන් හැඳින්වෙන ඒකකයට පාදක වන්නේ එදිනෙදා ජීවිතයේ අඳුර නිවා ගැනීමට උදවු වන ආලෝකයයි. ආලෝකය නිපදවීම විවිධාකාරය. නිවසේ බල්බයක් දැල්වූ විට අපට ආලෝකය ලැබේ. විද්‍යාඥයන් ගණනය කර ඇති ආකාරයට, එක තත්පරයකදී, කිලෝ මීටර් 299,337 ක දුරක් ගමන් කිරීමට ආලෝකයට පුළුවනි. ආසන්න වශයෙන් බැලුවොත්, එක් තත්ත්පරයකදී ආලෝක කිලෝ මීටර් ලක්ෂ 3 ක දුරක් ගමන් කරයි. එසේ නම්, ආලෝකය එක අවුරුද්දකදී ගමන් කරන දුර ප්‍රමාණය වන්නේ කිලෝ මීටර් 9,500,000,000,000 කි. තවත් පැහැදිලි කළොත් ආලෝකය, වර්ෂයක් තුළදී කිලෝ මීටර් ට්‍රිලියන 9.46 ක දුරක් ගමන් කරයි. මේ ආකාරයට ආලෝකය වසරකදී ගමන් කරන දුර ප්‍රමාණය ‘ආලෝක වර්ෂයක්’ ලෙස සැලකෙයි.

සෞරග්‍රහ මණ්ඩලයට ආසන්නයෙන්ම ඇති තාරකාවක් වන්නේ ‘සීරියස්’ තාරකාවය. මෙය පිහිටා ඇත්තේ පෘථිවියේ සිට ආලෝක වර්ෂ 8.6 ක් දුරිනි. මෙම තාරකාවේ ආලෝකය, පෘථිවියට පැමිණෙන්නට, වසර 8.6 ක් තරම් කාලයක් ගත වෙයි. මෙය තවත් පැහැදිලි කර ගනිමු. පෘථිවියේ සිට ආලෝක වර්ෂ 5 ක් තරම් දුරින්, නව තාරකාවක් බිහිවුණා යැයි සිතුවොත්, ඒත්, එම තාරකාව බිහිවූ මොහොතේ නිකුත් වුණු ආලෝකය පෘථිවියේ අපට දකින්න නොලැබෙයි.

ඊට හේතුව, තාරකාවේ ආලෝකය පෘථිවියට පැමිණීමට, වසර පහක් ගතවන බැවිනි. ආලෝක වර්ෂ 5 ක් යනු එම ආලෝකය පෘථිවියට පැමිණීමට වසර පහක කාලයක් ගතවෙයි. උදාහරණයක් ලෙස 2024 වසරේ දී මෙම තාරකාව ආලෝක වර්ෂ 5 ක් ඈතින් බිහිවූවා නම්, පෘථිවියේ අපට මේ තාරකාව රෑ අහසේ දකින්න ලැබෙන්නේ, 2029 වසරේදීය. රාත්‍රී අහසේ පෙනෙන සියලුම තාරකාවලින් අප දකින්නේ එම තාරකාවල වර්තමාන තත්ත්වය නොවෙයි. බොහෝ අවස්ථාවලදී අප රෑ අහසේ දකින බොහොමයක් තාරකා මේ මොහොක වෙද්දී විනාශ වී තිබෙනවා විය හැකිය. ඒත් දකින්න ලැබෙන්නේ එම තාරකා තවදුරටත් පවතින ආකාරයයි.

නක්ෂත්‍ර ඒකකය නිර්මාණය වී ඇත්තේ, සූර්යයාගේ සිට පෘථිවියට ඇති දුර ප්‍රමාණය උපයෝගී කර ගනිමිනි. සූර්යයාගේ සිට පෘථිවියට කිලෝ මීටර් මිලියන 149.65 ක තරම් දුරක් පවතී. එය ආසන්න වශයෙන් ගත් විට කිලෝ මීටර් මිලියන 150 කි. මෙම කිලෝ මීටර් මිලියන 150, එක නක්ෂත්‍ර ඒකකයක් ලෙස විද්‍යාඥයන් නම් කර තිබේ. ඒ අනුව, පෘථිවියේ සිට සූර්යයාට ඇති දුර නක්ෂත්‍ර ඒකකය 1 ක් (Astronomical Unit = AU–1) ලෙස සැලකෙයි. මේ ඒකකය භාවිතයට ගනිමින්, තාරකා සහ අභ්‍යවකාශ වස්තූන් අතරේ දුර මැනීමක් සිදු කරයි. පෘථිවියේ අපට ආසන්නයෙන් ඇති ප්‍රොක්සිමා සෙන්ටෝරි තාරකාව පිහිටා ඇත්තේ, පෘථිවියේ සිට ආලෝක වර්ෂ 4.2 ක් දුරිනි. මෙම දුර ප්‍රමාණය නක්ෂත්‍ර ඒකකයවලින් නම්, AU 269,407 කි.

UY Scuti (යූ.වයි. ස්කූටි) තාරකාවේ ඇති විශේෂත්වය වන්නේ, එහි ස්කන්ධයයි. මෙතරම් විශාල තාරකාවක් වුවත්, UY Scuti (යූ.වයි. ස්කූටි) ට ඇත්තේ, අප සූර්යයාගේ ස්කන්ධය මෙන් 30 ගුණයක ස්කන්ධයක් පමණයි. ඒ නිසා, තාරකා විද්‍යාඥයන්, UY Scuti (යූ.වයි. ස්කූටි) විශාලතම තාරකාව ලෙස හැඳින්වුවත්, බරින් වැඩිම තාරකාව විදියට මෙය සලකන්න බැහැ. අද වනවිට වැඩිම ස්කන්ධයක් පවතින තාරකාව ලෙස විද්‍යාඥයන් හඳුනාගෙන ඇත්තේ R136a1 යනුවෙන් නම් කළ තාරකාවය.  මෙම දැවැන්ත R136a1 තාරකාව ඇත්තේ, ආලෝක වර්ෂ 163,000 ක් දුරින්, අප ක්ෂීරපථ මන්දාකිනිය වටා කක්ෂගතව ඇති වාමන මන්දාකිනියක් වන මහා මැගලන් වලාවේ Large Magellanic Cloud ටැරන්චුලා නීහාරිකාව Tarantula Nebula තුළය. මහා මැගලන් වලාව යනු, අප ක්ෂීරපථයට වටා කක්ෂගත වුණු මන්දාකිනිවලින් එකකි. R136a1 තාරකාව, UY Scuti තාරකාවට වඩා විශාල ස්කන්ධයකින් යුක්ත වීමය. R136a1 තාරකාව, අපගේ සූර්යයාගේ ස්කන්ධය මෙන්, 300 ගුණයක පමණ, ස්කන්ධයක් පෙන්නුම් කරයි. කෙසේ නමුත් මෙම තාරකාවේ අරය පවතින්නේ, සූර්යයාගේ අරය මෙන් 30 ගුණයක් පමණි.  UY Scuti තාරකාව දැනට සොයාගත් තාරකා අතරේ, විශාලතම තාරකාව වෙද්දී, මහා මැගලන් වලාවේ ඇති R136a1 තාරකාව දැනට අධ්‍යයනය කර ඇති තාරකා අතරින් බරින් වැඩිම තාරකාව වෙයි.

ස්තුතිය - නාසා ආයතනයට


RECOMMEND POSTS