ලොව ලොකුම සර්පයා



ලොව විශාලතම සර්පයා ඇනකොන්ඩාය. ඇනකොන්ඩා පිඹුරු විශේෂයකි. ලතින් ඇමෙරිකාවේ ඇමසන් වැසි වනාන්තරයට ආවේණිකය. ඇනකොන්ඩා විශේෂ කීපයකි. ඇනකොන්ඩාවන් ජීවත් වන්නේ ලතින් ඇමෙරිකා මහාද්වීපයේ, ඇන්දීස් කඳු පන්තියට නැගෙනහිරිනි. කොළ ඇනකොන්ඩාවන් නැතිනම් හරිත ඇනකොන්ඩාවන් ඇමසන් ගංගා නිම්නයේ ද, ඊට අමතරව ඔරිනොකෝ ගංගා නිම්නයේ ද දකින්න ලැබේ.

කොලොම්බියාව, වෙනසියුලාව, ඉක්වදෝරය, පේරු, බොලිවියා, ට්‍රිනිඩෑඩ් සහ ගයනාව යන රටවල ඇනකොන්ඩාවන් දකින්න ලැබේ. කහ ඇනකොන්ඩාවන් එසේත් නැතිනම් පැරගුවේ ඇනකොන්ඩාවන් පැරගුවේ, දකුණු බ්‍රසීලයේ, සහ ඊසාන දිග ආජන්ටිනාවේ දකින්න ලැබේ. බොලිවියානු ඇනකොන්ඩාවන්, බොලිවියාවට පමණක් සීමා වෙයි. අඳුරු තිත් ඇති ඇනකොන්ඩාවන් බ්‍රසීලය හා ප්‍රංශ ගයනාව යන රටවල දකින්න ලැබේ.

ජලජ පිඹුරු විශේෂයක් වන ඇනකොන්ඩාවන් අතරින් විශාලතම ඇනකොන්ඩාවන් ලෙස සැලකෙන්නේ ඉහත සඳහන් කළ හරිත ඇනකොන්ඩාවන් Green Anaconda ය. යෝධ ඇනකොන්ඩා Giant Anaconda යන නමින් ද මොවුන් හැඳින් වෙයි. පසුගිය දා ලොව ලොකුම සර්පයා මෙන්ම ලොව ලොකුම ඇනකොන්ඩා ලෙස ද සොයා ගත් දැවැන්ත ඇනකොන්ඩාගේ දිග අඩි 26 කි. මීටර්වලින් නම්, මිටර් 7.5 ක් පමණය. මේ ඇනකොන්ඩා, හරිත ඇනකොන්ඩා විශේෂයට අයත් එකෙකු නොවෙයි. මේ සත්වයා උතුරු හරිත ඇනකොන්ඩා Northern Green Anaconda නමැති විශේෂයට අයත් එකෙකු බවත්, උතුරුදිග හරිත ඇනකොන්ඩා යනු තවත් නව ඇනකොන්ඩා විශේෂයක් බවත් සත්ව විද්‍යාඥයෝ පැහැදිලි කරති. ලොව ලොකුම ඇනකොන්ඩා ලෙස හඳුනාගත් මෙම සත්වයාගේ බර කිලෝ ග්‍රෑම් 500 කි.

ඇමසන් වැසි වනාන්තරයෙන් මේ ඇනකොන්ඩා සොයා ගත්තේ සහ වීඩියෝ දසුන් හරහා ඌ ලොවට හඳුන්වා දුන්නේ මහාචාර්ය ෆ්‍රීක් වොන්කා ය. 40 හැවිරිදි, නෙදර්ලන්ත ජාතික මහාචාර්ය ෆ්‍රීක් වොන්කා වන සතුන් පිළිබඳ රූපවාහිනී වාර්තා වැඩසටහන් ඉදිරිපත් කරන්නෙකි. මේ ඇනකොන්ඩාගේ හිස මනුෂ්‍ය හිසක් තරම්ය. සිරුර ටයරටක් තරම් මහත බව පැවැසෙයි. 40 හැවිරිදි මහාචාර්ය ෆ්‍රීක් වොන්කා, මේ ඇනකොන්ඩා ලොව හඳුන්වා දුන්නේ, ඌ සමඟ ඇමසන් ගංගාවේ පිහිනමිනි. යෝධ ඇනකොන්ඩා අසලට ගොස් ඌ සමඟ පිහිනීමට මහාචාර්යවරයා බියක් දැක්වූයේ නැත. ඇනකොන්ඩා මිනිසුන් ආහාරයට ගෙන ඇති බව පුරාවෘත වල මෙන්ම ලතින් ඇමෙරිකානු ජනවහරේ ද සඳහන් වෙයි. ඒත් එවැන්නක් තිසිම අවස්ථාවක තහවුරු වී නැත. පිඹුරන් මිනිසුන් ආහාරයට ගැනීම කරයි. ඇනකොන්ඩා ද පිඹුරු විශේෂයක් බව යළිත් සිහිපත් කිරීමට කැමැතිය. පිඹුරන් මෙන්ම ඇනකොන්ඩා ද නිර්විෂය. ඇනකොන්ඩාගේ ප්‍රධාන ආහාර වන්නේ ඇමසන් වනාන්තරයට ආවේණික කැපිබාරා, කේමන් කිඹුලන් සහ ජගුවාරයන්ය.

ජලාශ්‍රිත ප්‍රදේශ වල සැඟවී සිට ගොදුරට එක්වරම පහර දෙන ඇනකොන්ඩාවන්, ගොදුර අඩපණ කරන්නේ එය වෙලා ගනිමින් අස්ථි පොඩි පට්ටම් කරමිනි. එවිට, ගොදුරේ අස්ථි බිඳී, මොළයට රුධිර සැපයුම අඩපණ වෙයි. ඉන්පසු ගොදුර ගිල දමයි. ගොදුරු ගිල දැමීමට හොඳින් විවරවන හකු පාඩා මෙන්ම ඇදෙනසුළු ආකාරයේ සමක් ඇනකොන්ඩාට ඇත. විශාල ගොදුරක් ආහාරයට ගත් විට සමහර ඇනකොන්ඩාවන් මාස ගණන් නිරාහාරව සිටින බව ද පැවැසෙයි. මහාචාර්ය ෆ්‍රීක් වොන්කා, මේ සත්වයා සොයා ගත්තේ තනිවම නොවෙයි, රටවල් නවයක විද්‍යාඥයන් 14 දෙනකුගෙන් සමන්විත කණ්ඩායමන් ද සමඟ ඇමසන් වැසි වනාන්තරය ගවේෂණය කරද්දීය. ‘මේ විදියේ යෝධ ඇනකොන්ඩාවන් මීට පෙර අපට දකින්න ලැබී තියෙන්නේ හොලිවුඩ් චිත්‍රපටවලින් පමණයි. හැබෑවට දකින්න ලැබීම ඇත්තෙන්ම ඇඟ කිළිපොළා යන අත්දැකීමක්. හමුවුණු මේ යෝධයාගෙන් මට හෝ කැමරා කණ්ඩායමට හෝ අනතුරක් වුණේ නැහැ. අප ඌ සමඟ පිහිනුවා. රූගත කිරීම් කළා. ඇත්තෙන්ම ඒක හරි අපූරු ඇත්දැකීමක්.‍’ යැයි මහාචාර්යවරයා පැහැදිලි කර තිබේ.

උතුරු හරිත ඇනකොන්ඩා Northern Green Anaconda, යෝධ ඇනකොන්ඩා එසේත් නැතිනම් හරිත ඇනකොන්ඩාට වඩා විශාල බව දැන් තහවුරු වී අවසන්ය. දිගින් ද වැඩිය. බැලූ බැල්මට මෙම විශේෂ දෙක අතරේ කිසිදු වෙනස්කමක් දකින්න ලැබෙන්නේ නැහැ. විශාලත්වයට අමතරව ඇත්තේ සියයට 5.5 ක පමණ සුළු වෙනස්කමක් පමණයි යැයි ෆ්‍රීක් වොන්කා පැහැදිලි කරයි. උතුරු හරිත ඇනකොන්ඩා Northern Green Anaconda ට ලබා දී ඇති සත්ව විද්‍යාත්මක නාමය වන්නේ යුනෙක්ටස් අකායිමා Eunectes akayima ය.  ඇමසන් වැසි වනාන්තරය ආශ්‍රිත පරිසර පද්ධති දේශගුණික විපර්යාස සහ දිගින් දිගටම සිදුවන ඉවක් බවක් නැති වන විනාශය හේතුවෙන් විනාශ වෙමින් පවතී. ඇමසන් වනාන්තරයෙන් පහෙන් එකක් දැනටමත් අතුරුදහන් වී ඇත. මේ නිසා අලුතින් සොයා ගත් උතුරු හරිත ඇනකොන්ඩා විශේෂය ද වඳ වීමේ තර්ජනයකට මුහුණ පා සිටින බව ද මහාචාර්යවරයා පැහැදිලි කරයි.

ඩේලිමේල් ඇසුරිනි


RECOMMEND POSTS