මදුරු බර්ගර්



මිනිසාට වින කරන සතුන් අතර, අංක එක මදුරුවාය. මදුරුවා සෘජුව ලෙඩ රෝග බෝ කරන්නේ නැත. එහෙත්, මදුරුවා නිසා බෝ වන මාරක ලෙඩ රෝග රැසකි. ඩෙංගු,‍ මැලේරියා, කහ උණ, සීකා, ජැපනීස් එන්සපලයිටීස්ය මදුරුවන්ගෙන් බෝ වෙයි. පිරිමි මදුරුවා ලේ බොන්නේ නැත. බොන්නේ මල් පැණිය. ලේ බොන්නේ ගැහැනු මදුරුවන්ය. ඒ, බිත්තර දැමීමටය.

සාමාන්‍යයෙන් මදුරුවකුගේ ජීවන කාලය මාස 5 ක් හෝ 6 ක් පමණක් බව කීට විද්‍යාඥයෝ පවසති. මදුරුවා, සුහුඹුල් මදුරුවා විදිහට ජීවත් වන්නේ සති කීපයකි. ඒ අතරින් ද අපට දෂ්ට කරන ගැහැනු මදුරුවකු ජීවත් වන්නේ සති තුනක් පමණය. ඒ, අප අතින් ඝාතනයට ලක් නොවුණොත්ය. උණුසුම් රටවල පමණක් නොවෙයි; ඇතැම් සීත රටවල පවා මදුරුවන් දකින්න ලැබේ. මදුරුවා අප හඳුනා ගන්නේ අපේ සිරුරුවලින් පිටවන කාබන් ඩයොක්සයිඩවලිනි. මදුරුවන් අයත් වන්නේ ද කෘමි පවුලටය. ගැහැනු මදුරුවන්, කාබන්ඩයොක්සයිඩ් මගින් ඇතිකරන සංවේදනයට මීටර 25 ක තරම් දුර සිට ඇදී එයි. රෝග බෝ කිරීමට අමතරව, මදුරු දෂ්ටනය තරම් හිරිහැරයක් වෙන නැත.

වික්ටෝරියා විල, අප්‍රිකා මහද්වීපයේ විශාලතම විලය. වර්ග කිලෝ මිටර් 59,947 ක් පුරා පැතිරුණු මෙම විල අප්‍රිකාවේ විශාලතම විලය. ලොව දෙවැනි විශාලතම මිරිදිය විල ද මෙයයි. වික්ටෝරියා විල අප්‍රිකානු රටවල් තුනක් අතරේ බෙදී ඇත. ටැන්සිනියාව, උගන්ඩාව සහ කෙන්යාව යනු එම රටවල්ය. මෙම මහා විල, වික්ටෝරියා යන නමින් නම් කර ඇත්තේ බ්‍රිතාන්‍යයේ වික්ටෝරියා රැජින සිහිගන්වමිනි. පළමුවෙන් විල ගවේෂණය කළේත්, ඒ සම්බන්ධයෙන් විස්තර සටහන් කළේත් ජෝන් හැනිං ස්පෙක් නමැති බ්‍රිතාන්‍ය ජාතික දේශගවේෂකයාය.

ටැන්සිනියාව, උගන්ඩාව සහ කෙන්යාව දිළිඳු රටවල් වන අතර එම රටවල මන්දපෝෂණය ඉහවහා ගොස් ඇත. කුසට අහරක් නැති දරුවෝ ආහාර ඉල්ලා හඬා වැටෙති. නොදියුණු, සැප යනු කුමක්දැයි නොදන්නා, ඉතාමත් කටුක ජීවිත ගත කරන, ගම් වැසියන් වික්ටෝරියා විල ආශ්‍රිතව දකින්න ලැබේ. මේ අහිංසකයන් පවා මදුරු කරදරයෙන් පීඩා විඳිති. අප්‍රිකාවේ මැලේරියාව ඉහවහා ගොස් තිබේ. සෑම වසරකම, වැහි කාලයට වික්ටෝරියා විල කේන්ද්‍රකොට ගනිමින් මදුරුවන් බෝ වීම සිදුවෙයි. එය හසේ මෙසේ මදුරුවන් බෝ වීමක් නොවෙයි. සැදෑ කාලයේ වික්ටෝරියා විලේ ඇතැම් ඉවුරු අදුරු ඝන මීදුම් පටලයකින් වැසී යයි. වැහි වලාකුළක් සිහි ගන්වමින් ඒ මීදුම් පටලය බොහොම වේගයෙන් ඉවුරු කරා පැමිණෙයි. මේ මීදුම් පටලයක් නොවෙයි. වලාකුළක් ද නොවෙයි. මේ පැමිණෙන්නේ මදුරුවන්ය. ගණන් කළ නොහැකි තරම් මදුරු රංචුය.

මේ මදුරුවන් ගම්මානවලට කඩා වදී. මදුරු දැල් මදුරු දගර නැති මෙම ගම්වාසීන්ට මදුරු කරදරයෙන් මිදිය නොහැකිය. ඒත්, අපූරු කතාව වන්නේ, කුසට හරිහැටි අහරක් නැති මේ ගම්වාසීන්ට මදුරු කරදරය ආශිර්වාදයකි. ඔවුන් පුලපුලා බලා සිටින්නේ වැසි සමයත් සමඟ මදුරු රංචු පැමිණෙන තුරුය. තමන්ට දෂ්ට කිරීමට පැමිණෙන මදුරුවන්, ගම්වැසියන්ගේ රසම රස ආහාරය වෙයි. වික්ටෝරියා විල ඉවුරු, ගම්මාන ආශ්‍රිත වනාන්තර ප්‍රදේශ මදුරුවන්ගෙන් පිරී යද්දී, ගම්මානවල ලොකු කුඩා කවුරුත් කරන්නේ එක දෙයකි. ඒ තෙල් ආලේපනය කළ භාජන යොදා ගනිමින් මදුරුවන් අල්ලා ගැනීමය. ලක්ෂ ගණනින් මදුරුවන් අල්ලා ගැනීම සිදුවෙයි.

අල්ලා ගන්නා ඒ මදුරුවන්, පොඩි කරමින්, ගුලි කරමින්, තලපයක් ආකාරයට සකස් කෙරේ. එය බර්ගර් බනිසයක ඇතුළේ ඇති මස් පෙත්ත වැනිය. තවත් පැහැදිලි කළොත් රොටියක් වැනිය. එක් මදුරු රොටියක් නිර්මාණය සඳහා මදුරුවන් ලක්ෂ පහක් පමණ අවශ්‍ය වෙයි. මේ රොටියක් ආහාරයට ගනිද්දී, එක් කටකට ඇතුළත් වන මදුරුවන් ගණන ලක්ෂයකි. තලපයක් ලෙස සකස් කර ගන්නා රොටිය කළු පැහැයක් ගනී. ගම්මානවල හරිහරියට මදුරු රොටි පිළියෙළ කිරීම සිදුවෙයි. පසුව තෙල් ආලේප කළ තැටියක් මත තබා රොටිය හොඳින් පිස ගනී. දෙපැත්ත පෙරළමින්, තද කළු පැහැයක් ගන්නා තුරු මිස ගනී. ගම්වැසියන්ට අනුව, මේ මදුරු රොටිවල රසය මාළු රසයයි. ඔවුන්ට මෙම රොටි මුහුදු ආහාරවල රසය සිහි ගන්වයි. ඊට හේතුව මදුරුයන් වික්ටෝරියා විල ආශ්‍රිතව ජීවත් වන නිසා යැයි ද පැවැසෙයි.

අපට නුහුරු වුවත් කුසට හරිහැටි අහරක් නැති ගම්වැසියන්ට මදුරු රොටි, එසේත් නැතිනම් මදුරු බර්ගර් රසවත් ආහාරයකි. කෘමීන් ප්‍රෝටීන බහුල ආහාරයක් ලෙස පිලිගැනෙයි. රටවල් බොහොමයක කෘමීන්ගෙන් සකසන ආහාර ජනප්‍රියය. මදුරුවන් ද කෘමීන්ය. එසේ වුවත් මදුරු රොටිවල පෝෂණ ගුණය සම්බන්ධයෙන් පෝෂවේදීහු සැක පළ කරති. පෝෂණ ගුණය කෙසේ වෙතත් හරිහැටි තුන්වේල නොකන ගම්වාසීන්ට එය රාජභෝජනයකි.


RECOMMEND POSTS