බ්‍රිතාන්‍ය නව අගමැති රිෂී සුනාක් වැඩ අරඹයි



පාලක ‘කොන්සවර්ටිව්’ පක්ෂයේ නව නායකයා ලෙසත්, බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා ලෙසත් එම ධුරයට තේරී පත් වුණු ඉන්දීය සම්භවයක් සහිත රිෂී සුනාක් තෙවැනි චාල්ස් රජු හමුවීමෙන් පසු සිය රාජකාරි නිල වශයෙන් ආරම්භ කළේය.

42 හැවිරිදි රිෂී සුනාක් ඉන්දීය සම්භවයක් ඇති බ්‍රිතාන්‍ය ජාතිකයෙකි. ඒ අනුව, ඉන්දීය සම්භවයක් ඇති බ්‍රිතාන්‍ය ජාතිකයකු බ්‍රිතාන්‍යයේ අග්‍රාමාත්‍ය ධුරයට තේරී පත් වුණු පළමු අවස්ථාව මෙයයි. වසර 6 ක් ඇතුළත පත්වුණු හය වැනි අග්‍රාමාත්‍යවරයා වන්නේ ද සුනාක් ය. ඊට අමතරව, මාස දෙකක් ඇතුළත බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය ධුරයට පත් තෙවැනි තැනැත්තා වන්නේ ද සුනාක් ය. ඊට අමකරව, ශතවර්ෂ දෙකකට පසු බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය ධුරයට පත් වුණු ළාබාලතම තැනැත්තා ලෙස සැලකෙන්නේ ද සුනාක් ය.

බ්‍රිතාන්‍යයේ අග්‍රාමාත්‍ය ධුර හිමිවන්නේ පාලක පක්ෂයේ නායකයාටය. 2024 වනතුරු බලයේ සිටින්නේ ‘කොන්සවර්ටිව්’ පක්ෂයයි. රිෂී සුනාක්ට පක්ෂ නායකත්වයත් පසුව අග්‍රාමාත්‍ය ධුරයත් හිමිවූයේ පක්ෂ අභ්‍යන්තරයේ හටගත් අර්බුද හේතුවෙනි.

රිෂී සුනාක්, බොරිස් ජොන්සන්ගේ රජයේ මුදල් ඇමැති (චාන්සලර්) ය. බොරිස් ජොන්සන් පක්ෂ නායකත්වයෙන් සහ අග්‍රාමාත්‍ය ධුරයෙන් නෙරපා දැමීම සිදුවූයේ පසුගිය ජූලි මාසයේය. ඒ, ජොන්සන්ගේ රජය විසින් ම පැනැවූ ‘කොවිඞ් 19’ තහංචි ජොන්සන් විසින් උල්ලංඝනය කරමින් රහසේ මධුවිත සාද පැවැත් වූ බැවිනි. ඒ අනුව, ජොන්සන් ‘කොන්සවර්ටිව්’ පක්ෂයේ අප්‍රසාදයට පත් විය. ජොන්සන්ට නෙරපා දැමීමට කැරැලි ගැසූ අයකු වන්නේ රිෂී සුනාක් ය.

ඉන්පසු පක්ෂ නායකත්වය සහ අග්‍රාමාත්‍ය ධුරය වෙනුවෙන් සටන පැවැතියේ රිෂී සුනාක් සහ ලිස් ට්‍රස් අතරේය. එය ජය ගනිමින් ලිස් ට්‍රස් පක්ෂ නායකත්වයට සහ අග්‍රාමාත්‍ය ධුරයට පත්වූවාය.

ලිස් ට්‍රස් ක්‍රියාත්මක කල ආර්ථික ප්‍රතිපත්ති හේතුවෙන් පක්ෂය අභ්‍යන්තරයේ බෙදීමක් හටගත්තේය. තමන්ට තම ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමට නිසි සහාය පක්ෂ සාමාජිකයන්ගෙන් නොලැබුණු බව පවසමින්, අග්‍රාමාත්‍ය ධුරයට පත් වී සති 6 ක් ගත වෙද්දී ලිස් ට්‍රස් පක්ෂ නායනත්වයෙන් මෙන්ම අගමැති ධුරයෙන් ද ඉවත් වූවාය. ඒ අනුව, යළිත් පක්ෂ නායකත්වය වෙනුවෙන් තරගයක් පැවැත්වුණු අතර රිෂී සුනාක්, හිටපු අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් මෙන්ම නියොජිත මන්ත්‍රී මණ්ඩල නායිකා පෙනී මෝර්ඩන් ද ඊට ඉදිරිපත් වූහ.

කෙසේ නමුත් බොරිස් ජොන්සන් තරගෙයන් ඉවත් වු බැවින් සහ පෙනී මෝර්ඩන් ට පක්ෂ සාමාජිකයන්ගෙන් ප්‍රමාණවත් සහයක් නොලැබුණු බැවින් රිෂී සුනාක්ට පක්ෂ නායකත්වයත් පසුව අග්‍රාමාත්‍ය ධුරයක් හිමිවිය.

මේ අතර, නව අග්‍රාමාත්‍ය රිෂි සුනාක් ගේ රජයේ කැබිනට් මණ්ඩලය පත් කිරීමට නියමිතය තිබුණි. ඩොමිනික් රාබ්, මෙල් ස්ට්‍රයිඩ්, ජෝන් ග්ලෙන් සහ මයිකල් ගොව් ටෝරි මන්ත්‍රීවරුන්ට ප්‍රධාන අමාත්‍ය ධුර හිමිවනු ඇතැයි බ්‍රිතාන්‍ය මාධ්‍ය පෙන්වා දුන්නේය. බෙදීමක් ඇති වුණු පාලක ‘කොන්සවර්ටිව්’ පක්ෂය ශක්තිමත් කිරීමේ අරමුණින් ප්‍රතිවාදී පෙනී මෝර්ඩන්ට් ට විදේශ ලේකම් (ඇමැති) ධුරය පිරිනැමීමට සුනාක් කටයුතු කරනු ඇතැයි ද පැවැසෙයි. සුනාක් හිතවාදියකු වන ජෙරමි හන්ට් දිගටම මුදල් ඇමැති (චාන්සලර්) ලෙස එම ධුරයේ දිගටම කටයුතු කරනු ඇති බව ද පැවැසිණි.

(රොයිටර්)


RECOMMEND POSTS