බයිඩන් ට්‍රම්ප් Re-Match



මේ මැතිවරණ වසරකි. කවුරුත් පුලපුලා බලා සිටින ඇමෙරිකන් ජනාධිපතිවරණය පැවැත්වෙන්නේ නොවැම්බර් පස් වැනිදාය. ජනපතිවරණ සටන පැවැත්වෙන්නේ වත්මන් ජනාධිපති ජෝ බයිඩන් සහ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අතරේය.

බයිඩන් සහ ට්‍රම්ප්, ඇමෙරිකාවේ ප්‍රධාන දේශපාලන පක්ෂ වන ඩිමොක්‍රටික් පක්ෂය සහ රිපබ්ලිකන් පක්ෂය නියෝජනය කරති. බයිඩන් සහ ට්‍රම්ප්, ජනපති ධුර අපේක්ෂකයන් බවට පත් වූයේ ජනපද මට්ටමින් පැවැත් වෙන පූර්ව මැතිවරණවලින් ඉදිරියට පැමිණෙමිනි. නොවැම්බර් ජනාධිපතිවරණයේ දී ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනා බයිඩන් සහ ට්‍රම්ප් බව පවසමින්, පසුගිය දා ඔවුන් දෙදෙනාගේ නාම යෝජනා, පක්ෂ සම්මේලනවලදී නිවේදනය කෙරුණේ ඒ අනුවය.

වත්මන් ජනාධිපති බයිඩන්, ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නේ සිය දෙවැනි සහ අවසන් ධුරය අපේක්ෂාවෙනි. ට්‍රම්ප් ඉදිරිපත් වෙන්නේ ද සිය දෙවැනි සහ අවසන් ධුරය අපේක්ෂාවෙනි. මීට සිවු වසරකට පෙර, 2020 නොවැම්බරයේ පැවැති ඇමෙරිකන් ජනාධිපතිවරණයේ ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනා වූයේ ද බයිඩන් සහ ට්‍රම්ප්ය. එහෙත් එදා ජනාධිපති ධුරයේ කටයුතු කළේ ට්‍රම්ප්ය.

ඇමෙරිකන් මාධ්‍ය වාර්තා අනුව, නොවැම්බර් ජනාධිපතිවරණය බයිඩන් සහ ට්‍රම්ප් දෙදෙනා අතරේ පැවැත්වෙන ‘රී මැච්’ එකකි. මෙලෙස, ජනාධිපති අපේක්ෂකයන් දෙදෙනකු අතරේ, ‘රී මැච්’ එකක් පැවැත්වෙන්නේ, වසර 70 කට පසුව යැයි ද පැවැසෙයි. 2020 වසරේ බයිඩන්ට පරාජය වුණු ට්‍රම්ප්ට මෙම ජනාධිපතිවරණයේදී බයිඩන් පරාජය කිරීමට හැකිවේවිද?

ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බයිඩන්ට පමණක් නොව ට්‍රම්ප්ට ද වාසි අවාසි ඇත. ජනාධිපතිවරණය ඉතාමත් තීරණාත්මක ස්වරූපයක් ගන්නේ මේ නිසා යැයි දේශපාලන විෂ්ෂකයෝ පැහැදිලි කරති. ජනාධිපතිවරණයට ඩිමොක්‍රටික් පක්ෂ අපේක්ෂකයා වීමට හැකිවීම සතුටක් බවත්, ඒ සම්බන්ධයෙන් පක්ෂ සාමාජිකයන්ට ස්තුති කරන බවත් බයිඩන් පසුගිය දා මාධ්‍ය හමුවකදී පැවැසීය.  2020 ජනාධිපතිවරණයේ දී මෙන් නොව, මෙවර ජනාධිපතිවරණයේ දී තමන්ට ට්‍රම්ප්ගෙන් විශාල අභියෝගයක් එල්ල වනු ඇතැයි හොඳින් දන්නා බවත්, තමන් කිසිම අවස්ථාවක ට්‍රම්ප් අවතක්සේරු නොකරන බවත් බයිඩන් පැහැදිලි කර ඇත. ජනමත සමීක්ෂණ අනුව, මේ වනවිට ට්‍රම්ප්, බයිඩන්ට වඩා ඉදිරියෙන් සිටී.

කෝටිපති ව්‍යාපාරික ඩොනල්ඩ් ට්‍රම්ප්, පළමුවෙන් ඇමෙරිකන් ජනාධිපති ධුරයට පත් වූයේ 2016 වසරේ ජනාධිපතිවරණයෙනි. එදා ට්‍රම්ප්ගේ ප්‍රතිවාදියා වූයේ කාන්තාවකි. ඇය හිටපු ජනාධිපතිවරයකු වන බිල් ක්ලින්ටන් බිරිඳ හිලරි ක්ලින්ටන්ය. හිලරි ක්ලින්ටන්, ට්‍රම්ප්ට වඩා ජනප්‍රිය වූ අතර, ට්‍රම්ප් 'පිස්සකු' ලෙස සැලකිණි. කෙසේ නමුත් ඇමෙරිකානුවන් පමණක් නොව මුළු ලොවම පුදුම කරමින් ට්‍රම්ප් ජය ගත්තේය. එය ඇමෙරිකන් දේශපාලනයේ සිදුවුණු පෙරැළියකි.

2020 වසරේ ජනාධිපතිවරණයේ දී ට්‍රම්ප්ගේ ප්‍රතිවාදියා වූයේ ජෝ බයිඩන්ය‍. ඔබාමා ජනාධිපති ධුරය හොබවද්දී බයිඩන් උප ජනාධිපති ධුරය හෙබවීය. 2020 යනු 'කොවිඩ් 19' කොරෝනා වයිරස වසංගතයෙන් ලෝකය අඩපණ වුණු වසරය. සෙසු රටවල් පමණක් නොව, ඇමෙරිකාව ද ‘කොවිඩ් 19’ වසංගතයෙන් බැට කන්න විය. මළමිනී ගොඩ ගැසෙද්දී, ප්‍රතිශක්තිකරණ එන්නත් තරයේ ප්‍රතික්ෂේප කළ ලෝක නායකයන්ගෙන්​ කෙනකු වූයේ ට්‍රම්ප්ය. අවසන් මොහොතේ මැතිවරණ ප්‍රචාරණ කටයුතුවල නියැලෙද්දී ට්‍රම්ප් කොවිඩ් 19 ආසාදිතයකු ද විය. ඒත් ට්‍රම්ප් අඩපණ කිරීමට කොරෝනා වයිරසයට හැකියාවක් ලැබුණේ නැත.2020 ජනාධිපතිවරණයෙන් ට්‍රම්ප්, ජෝ බයිඩන්ට පරාජය වීමට එක් හේතුවක් වූයේ 'කොවිඩ් 19' වසංගතය සම්බන්ධයෙන් ලිහිල් ප්‍රතිපත්තියක් අනුගමනය කිරීමය.

ජනාධිපති ධුරයේ සිටිද්දී ට්‍රම්ප් සුදු ඇමෙරිකානුවන් වෙනුවෙන් කැප විය. ඇමෙරිකාව ශ්‍රෙෂ්ඨත්වය කරා රැගෙන යෑම ට්‍රම්ප්ගේ අරමුණ විය. මෙවර ජනාධිපතිවරණයේ දී ට්‍රම්ප්ගේ තේමාව, ඇමෙරිකාව යළිත් ශ්‍රේෂ්ඨත්වයට රැගෙන යෑම යන්නය. ට්‍රම්ප් ඇමෙරිකාවට පැමිණෙන නීතිවිරෝධී සංක්‍රමණියකයන්ට එරෙහි විය. ඇමෙරිකා මෙක්සිකෝ දේශසීමාවේ තාප්පයක් ඉදි කළේය. විදෙස් ප්‍රතිපත්තිවලට වඩා දේශීය ප්‍රතිපත්තිවලට මුල් තැන දුන්නේය. චීනය සමඟ ගැටුණේය. ඒ, චීනය ඇමෙරිකාවේ ඇමෙරිකානු සුදු ජාතිකයන්ට උරුම රැකියා උදුරා ගන්නා බවට චෝදනා නගමිනි. ට්‍රම්ප් රුසියාව සමඟ පමණක් නොව, උතුරු කොරියාව සමඟ ද යහපත් සබඳතා පැවැත්වීය.

බයිඩන් මෙන්ම ට්‍රම්ප් ද යුදෙව් ඊශ්‍රායලයට කොන්දේසි විරහිතව සහාය දෙයි.  ජෙරුසලම ඊශ්‍රායලයේ අගනුවර ලෙස පිළිගත්තේ ට්‍රම්ප්ය. ඊශ්‍රායල යුදෙව්වන්ට ට්‍රම්ප්ගේ සහාය හිමිවන්නේ, ඇමෙරිකාවේ යුදෙව් ඡන්ද ඇමෙරිකන් ජනාධිපතිවරණයේ දී කැපී පෙනෙන සාධකයක් නිසාය.

නොවැම්බර් ජනාධිපතිවරණයෙන් ට්‍රම්ප් ජයග්‍රහණය කළත්, ඊශ්‍රායල හමාස් යුද්ධය සම්බන්ධයෙන් දැනට පවතින ප්‍රතිපත්ති වෙනස් නොවනු ඇත. අද ජනාධිපති බයිඩන්ගේ අනුකම්පාව ගාසා තිරයේ පලස්තීනුවන්ට හිමිවුණත්, ට්‍රම්ප් ජනාධිපති වුවහොත්, පලස්තීනුවන්ට කිසිම අනුකම්පාවක් හිමි නොවනු ඇත. අද ඊශ්‍රායල හමාස් අර්බුදය සම්බන්ධයෙන් සහ කොන්දේසි විරහිතව ඊශ්‍රායලයට සහාය දීම සම්බන්ධයෙන් බයිඩන්ට දොස් අසන්න සිදුවී ඇත. ඇමෙරිකන් තරුණ ප්‍රජාව බයිඩන් පිළිකුල් කරයි. දේශපාලනික වශයෙන් මෙය බයිඩන්ට විශාල අවාසියකි.

ට්‍රම්ප්, රුසියාවට පක්ෂය. තමන් පැය 24 ක් ඇතුළත රුසියන් යුක්රේන යුද්ධය නිමා කරන බව ට්‍රම්ප් පවසා ඇත. ඒත් එය කරන්නේ කෙසේදැයි පවසා නැත. කෙසේ නමුත්, උතුරු අත්ලාන්තික් ගිවිසුම් සංවිධානය හෙවත් නේටෝ සංවිධානය සහ ට්‍රම්ප් අතරේ අර්බුද පවතී. නේටෝ යනු ඇමෙරිකාව ඇතුළු බටහිර රටවල් එක් වී, රුසියාවෙන් එල්ල වන තර්ජන පිටුදැකීමට පිහිටුවාගත් යුද හවුලකි. තමන් යළි ජනපති වුවහොත්, රුසියන් යුක්රේන යුද්ධයේ දී යුක්රේනයට එක සතයක් නොදෙන බව ද ට්‍රම්ප් පවසා තිබේ. රුසියන් යුක්රේන යුද්ධය ඔඩුදුවන්නේ, ඇමෙරිකාව ඇතුළු සෙසු නේටෝ රටවල් මූල්‍යමය වශයෙන් සහ ආයුධමය වශයෙන් යුක්රේනයට දිගින් දිගටම සහාය ලබා දෙන නිසා යැයි ට්‍රම්ප් පෙන්වා දී ඇත.

ජෝ බයිඩන් ඇමෙරිකා ජනාධිපති ධුරයට පත් වී සිටින වයස්ගතම පුද්ගලයාය. ට්‍රම්ප් ට 81 කි. ට්‍රම්ප්ට 77 කි.  මෙය ද බයිඩන්ට අවාසියකි. බයිඩන් පසුගිය දා සිය වාර්ෂික වෛද්‍ය පරීක්ෂණයට පෙනී සිටියේය. බයිඩන්ගේ, ශරීර සෞඛ්‍යය, ඔහුගේ වයසට අනුව, යහපත් බවත්, ඔහුට දිගටම ජනාධිපති ධුරයේ රැඳී සිටීමට ගැටලු කිසිවක් නොමැති බවත් එම වෛද්‍ය පරීක්ෂණයේ දී අනාවරණය විය. වෛද්‍ය පරීක්ෂණයෙන් සමත් වුවත්, වයෝවෘද්ධ බයිඩන් සිටින්නේ දුර්වල තත්ත්වයක බව, මුළු ලෝකයම දනී. බයිඩන් පය පැටලී ඇද වැටුණු අවස්ථා බොහොමය. විදෙස් රාජ්‍ය නායකයන්ගේ සහ නියෝජියන්ගේ නම් පැටලුණු සහ අමතක වුණු අවස්ථා බොහොමය. බයිඩන් හිතුමතේ කළ ප්‍රකාශ සම්බන්ධයෙන් ධවල මන්දිරයට කලබල වුණු අවස්ථා බොහොමය. දිනෙන් දින දුර්වල වන මතකය සහ කායික දුර්වලතා බයිඩන්ට ජනාධිපතිවරණයේ දී අවාසියකි. ඇමෙරිකානුවන් ඔවුන්ගේ ජනාධිපති ලෙස බලාපොරොත්තු වන්නේ ශක්තිවන්තයෙකි. බයිඩටන් සහ ට්‍රම්ප් අතරින් ශක්තිවන්තයා ට්‍රම්ප්ය.

ජනාධිපති ධුරය අහිමි වීමෙන් පසු ට්‍රම්ප් චෝදනා රැසකට මුහුණ පා සිටී. ට්‍රම්ප් මැතිවරණ අපේක්ෂකත්ව ලැයිස්තුවෙන් ඉවත් කිරීමට පවා ඇතැම් ඩිමොක්‍රටික් පාක්ෂිකයන්ගේ බලකොටු ලෙස සැලකෙන ජනපද කීපයක් තීරණය කළේය.

 2020 ජනාධිපතිවරණයේ දී ට්‍රම්ප්, බයින්ට පරාජය වූ අවස්ථාවේ, ට්‍රම්ප් ජනාධිපතිවණයේ ප්‍රතිඵල පිළිගත්තේ නැත. 2021 ජනවාරි 6 වැනිදා බයිඩන්ගේ ජය තහවුරු කිරීමට ඇමෙරිකන් කොංග්‍රසය (පාර්ලිමේන්තුව) රැස් වෙද්දී, ට්‍රම්ප්ගේ උසි ගැන්වීමෙන් ඔහුගේ ආධාරකරුවන් වොෂින්ටන් අගනුවර කැපිටල් හිල් ගොඩනැගිල්ලට කඩා වැදුණි. ඇමෙරිකන් පාර්ලිමේන්තුව සහ ශ්‍රේෂ්ඨාධිකරණය පිහිටා ඇත්තේ මෙම ගොඩනැගිල්ලේය. ඇමෙරිකන් ව්‍යවස්ථාව උල්ලංඝනය කරමින්, කොංග්‍රසයේ කටයුතුවලට බාධා කරමින්, කැරැල්ලක් මෙහෙයවූ බවට ට්‍රම්ප්ට චෝදනාව එල්ල විය. ට්‍රම්ප් මැතිවරණ අපේක්ෂකත්ව ලැයිස්තුවෙන් ඉවත් කිරීමට කොලරාඩෝ සහ මේන් යන ජනපද තීරණය කළේ එම චෝදනාව අනුවය.  ශ්‍රේෂ්ඨාධිකරණය අත් හිටුවූයේ කොලරාඩෝ සහ මේන් යන අධිකරණ ලබා දී තිබුණු එම තින්දුවය.

​බීබීසී ඇසුරිනි


RECOMMEND POSTS