මරුටි කම්හලට දිවියෙක් ඇවිල්ලා



ඉන්දියාවේ දිල්ලි ප්‍රාන්තයේ නවදිල්ලි අගනුවරට නුදුරින් මනේසාර් නුවර පිහිටා ඇති ‘මරුටි සුසුකී’ මෝටර් රථ කර්මාන්ත ශාලාවට ඉකුත් සිකුරාදා දිවියෙක් කඩා වැදුණේය.

දිවියා ගැන කර්මාන්ත ශාලාවේ සේවක මණ්ඩලය, ආරක්ෂක නිලධාරීන් සහ ප්‍රධානීන් දැන ගත්තේ සී.සී.ටීවී. ආරක්ෂක කැමරා දසුන් හරහාය.

ඉන්දියාවේ විශාලතම මෝටර් රථ නිෂ්පාදන සමාගම වන්නේ ද ‘මරුටි සුසුකී’ මෝටර් රථ සමාගමය. වසරකට මෝටර් රථ මිලියනයක් නිපදවීම සිදු කරයි.

රාත්‍රී සේවයේ නියැළී සිටි සියලු සේවකයන් වහා කර්මාන්ත ශාලාවෙන් ඉවත් කරමින්, දිවියා ගැන දිල්ලි වන ජීවී නිලධාරින්ට දැනුම් දීමට කටයුතු කළ බව පැවැසෙයි.

මෙම මරුටි සුසුකි කර්මාන්ත ශාලාව පිහිටා ඇත්තේ විශාල භූමි ප්‍රදේශයකය. එහෙයින් දිවියා කොතැනක සැඟවී සිටිනවා ද කාට පහර දේවිදැයි යන්න සිතා ගත නොහැකි වුණු බව එහි පැමිණි වන ජීවී නිලධාරීහු පැවැසූහ.

දිවියා අල්ලා ගැනීමේ මෙහෙයුමට වන ජීවී නිලධාරීන් 12 දෙනෙක් සම්බන්ධ වූයේ දිල්ලි පොලිස් නිලධාරීන් 50 දෙනකුගේ ද සහාය ඇතිවය. දිවියා නිර්වින්දනය කර අල්ලා ගැනීමට ඔවුහු උගුලක් ඇටවූහ.

අමු මස් තබා දිවියා එතැනට පැමිණෙන තුරු ඔවුන් සැඟවී බලා සිටි අතර, අවසානයේ දී දිවියා ආ සැණින් වෙඩි තබා ඌ නිර්වින්දනය කර ගැනීමට හැකියාව ලැබුණි. ඒ, පැය 36 ක දීර්ඝ මෙන්ම වෙහෙසකර මෙහෙයුමකින් පසුවය. නිර්වින්දනය කර අල්ලා ගත් දිවියා පසුව වන රක්ෂිතයකට මුදා හැරීමට වන ජීවී නිලධාරීහු කටයුතු කළහ.

 (එන්.ඩී.ටීවී.)


RECOMMEND POSTS