නව ප්‍රභේදය පරදන්න ’ස්පුට්නික්’ එන්නතට පුළුවන්



‘කොවිඩ් 19’ නව කොරෝනා වයිරසයේ ඕනෑම විකෘති නව ප්‍රභේදයක් අඩපණ කිරීමට රුසියාවේ ‘ස්පුට්නික් 5’ එන්නතට හැකියාව ඇතැයි එම නිපදවූ විද්‍යාඥයෝ පවසා ඇත.

එංගලන්තයෙන් වාර්තා වන මෙම විකෘති ප්‍රභේදය සම්බන්ධයෙන් ලෝකවාසීන් මේ වනවිට බියට පත් වී සිටින අතර, එම නව වයිරස ප්‍රභේදයෙන් ආරක්ෂා වෙන්නැයි ලෝක සෞඛ්‍ය සංවිධානය ලෝකයේ සෑම රටකටම අනතුරු ඇඟවීම් කර තිබේ.

ලොව පළමුවෙන් ලියාපදිංචි කළ කොරෝනා වයිරසයට එරෙහි ප්‍රතිශක්තිකරණ එන්නත වන්නේ රුසියාවේ ‘ස්පුට්නික් 5’ එන්නතය. ‘ස්පුට්නික් 5’ ලෙස නම් කළත් එන්නත නිල වශයෙන් හැඳින්වෙන්නේ ‘ගැම්-කොවිඩ්-වැක්’ යන නමිනි. එන්නත නිපදවා ඇත්තේ රුසියාවේ ‘ගැම්ලේයා’ වසංගත පාලන, ක්ෂුද්‍ර ජීව විද්‍යා ආයතනය මැදිහත් වීමෙනි.

එන්නත නිපදවීමේ කටයුත්තට රුසියන් සෞඛ්‍ය අමත්‍යාංශයේ අනුග්‍රහය හිමිවී තිබේ. එන්නත එළිදැක්වීම සිදුවූයේ අගෝස්තු 11 වැනිදාය. රුසියන් වෛද්‍ය සභාවේ අනුමැතිය හිමිවීමෙන් පසු අගෝස්තු 28 වැනිදා එය ලියාපදිංචි කෙරුණි. මේවනවිට එන්නත රුසියානුවන්ට ලබා දීම ආරම්භ වී ඇත.

නව වයිරස ප්‍රභේදය පැතිරෙන එංගලන්තයේ වැසියන්ට ලබා දෙන්නේ ඇමෙරිකාවේ ‘ෆයිසර්’ සමාගම සහ ජර්මනියේ ‘බයෝඇන්ටෙක්’ සමාගම හවුලේ නිපදවා ඇති එන්නතය. වයිරසයේ නව ප්‍රභේදය අඩපණ කිරීමට ‘ෆයිසර්’ එන්නතට හැකි ද යන්න මෙතෙක් තහවුරු වී නැත. එහෙයින් බ්‍රිතාන්‍ය වැසියන් ‘ෆයිසර්’ එන්නත සම්බන්ධයෙන් සැක පළ කර තිබේ.

‘ෆයිසර්’ එන්නත නිපදවා ඇත්තේ කෙළින්ම, ‘කොවිඩ් 19’ වයිරසයේ ජාන කොටස් යොදා ගනිමිනි. මෙය ආර්.එන්.ඒ. වර්ගයේ එන්නතකි. රුසියානු විද්‍යාඥයන් ‘ස්පුට්නික් 5’ නිපදවා ඇත්තේ වයිරසයේ කෘත්‍රිමව සකස් කළ ජාන සැකැසුමක් යොදා ගනිමිනි. රුසියන් විද්‍යාඥයන් පෙන්වා දෙන්නේ, ‘කොවිඩ් 19’ වයිරසයේ ඕනෑම නව ප්‍රභේදයක් අඩපණ කිරීමට ‘ස්පුට්නික් 5’ සමත් වනු ඇති බවය.

මේ වනවිට, රුසියාව නිපදවූ ‘ස්පුට්නික් 5’ ප්‍රතිශක්තිකරණ එන්නත, බ්‍රිතාන්‍යයේ ‘ඇස්ට්‍රාසෙනකා’ ඖෂධ නිෂ්පාදන සමාගමේ වෛද්‍ය පර්යේෂකයන්ගේ අවධානයට ලක්වී ඇති බව පැවැසෙයි. ‘ඇස්ට්‍රාසෙනකා’ යනු ලොව බොහෝ දෙනාගේ විශ්වාසය දිනූ, බ්‍රිතාන්‍ය ස්වීඩන ඖෂධ නිෂ්පාදන සමාගමකි. ‘ඇස්ට්‍රාසෙනකා’ සමාගමේ මූලස්ථානය ඇත්තේ කේම්බ්‍රිජ්හිය. ‘කොවිඩ් 19’ හෙවත් නව කොරෝනා වයිරසය ආසාදනය වීම වැළැක්වීමට, ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පර්යේෂකයන්, ඔවුන්ගේ එන්නත නිපදවීම සිදු කරන්නේ ද මෙම ‘ඇස්ට්‍රාසෙනකා’ සමාගම සමඟ එක් වෙමිනි.

බටහිර රටවල පමණක් නොව, ආසියානු කලාපීය රටවලත් රුසියාවේත් ‘ඇස්ට්‍රාසෙනකා’ ශාඛා කාර්යාල තිබේ. ‘ස්පුට්නික් 5’ එන්නත බ්‍රිතාන්‍ය වෛද්‍ය පර්යේෂකයන්ගේ අධීක්ෂණයට යොමු වී ඇත්තේ රුසියාවේ පිහිටි එම කාර්යාලය හරහාය.

‘ඇස්ට්‍රාසෙනකා’ සමාගමේ වෛද්‍ය පර්යේෂකයන් එක් වී, ඉදිරියේ දී ‘ස්පුට්නික් 5’ එන්නත තක්සේරු කරමින්, එය සායනික අත්හදා බැලීම් සඳහා යොදා ගැනීමට නියමිත බව ද පැවැසෙයි. ඒ වයස අවුරුදු 18 වැඩි තරුණ තරුණියන්ට එන්නත ලබා දීමෙනි.

ලොව පළමුවෙන් නිපදවූ සහ පළමුවෙන් ලියාපදිංචි කළ ‘කොවිඩ් 19’ වළක්වන එන්නත ලෙස සැලකෙන්නේ රුසියාවේ ‘ස්පුට්නික් 5’ එන්නතය. ‘ස්පුට්නික්’ යනු සෝවියට් රුසියාව අභ්‍යවකාශය ජය ගනිමින්, පෘථිවි කක්ෂයට යැවූ පළමු චන්ද්‍රිකාවය. එය සෝවියට් රුසියාව ලැබූ විශිෂ්ට ජයග්‍රහණයකි. එම ජයග්‍රහණය සිහි කරමින්, මෙම එන්නත ‘ස්පුට්නික්’ යන නමින් නම් කර තිබේ.

මොස්කව්හිදීය (ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS