තවත් රටවල් ඇස්ට්‍රාසෙනකා නවත්වයි



ඩෙන්මාර්කය, අයිස්ලන්තය සහ නෝර්වේ ඇතුළු යුරෝපීය රටවල් කිහිපයක් ඔක්ස්ෆර්ඩ්-ඇස්ට්‍රසෙනකා කොවිඩ්-19 එන්නත ජනතාවට ලබාදීම තාවකාලිකව නැවැත්වීමට පියවර ගෙන ඇත.

මේ සම්බන්ධයෙන් රටවල් කිහිපයක්ම මේ වනවිට විමර්ශන ආරම්භ කර තිබෙන එන්නත ලබාගැනීමෙන් රුධිරය කැටි ගැසෙන්නේ ද යන්න සම්බන්ධයෙන් විමර්ශනය කරන බව යුරෝපා සංගම් වෛද්‍ය නියාමන ආයතනය අද නිවේදනය කළේය.

ඔක්ස්ෆර්ඩ්-ඇස්ට්‍රසෙනකා කොවිඩ්-19 එන්නත ලබාගැනීමෙන් පසු පුද්ගලයන් කිහිපදෙනකුම රුධිරය කැටි ගැසීමේ තත්ත්වවලට මුහුණ දී තිබෙන අතර ඒ අනුව එන්නත ලබාදීම සති දෙකකට අත්හිටුවීමට ඩෙන්මාර්කය පියවර ගත්තේ ය. එන්නත ලබාගැනීමෙන් පසු රුධිරය කැටි ගැසීම හේතුවෙන් ඩෙන්මාර්කයේ පුද්ගලයකු මරණයට ද පත් විය.

අයිස්ලන්තය සහ නෝර්වේ යන රටවල් ද එම පියවර අනුගමනය කරමින් ඔක්ස්ෆර්ඩ්-ඇස්ට්‍රසෙනකා කොවිඩ්-19 එන්නත ජනතාවට ලබාදීම තාවකාලිකව නැවැත්වීමට පියවර ගත්තේ ය. කෙසේ නමුත් කොතරම් කාලයකට එන්නත ලබාදීම නවත්වන්නේ ද එම රටවල් ද්විත්වය මෙතෙක් නිල ප්‍රකාශයක් සිදු කර නොමැත.

මහජනතාවට එන්නත් ලබාදීම තාවකාලිකව නැවැත්වූයේ පූර්ව ආරක්ෂිත පියවරක් ලෙස බවත් එමඟින් නිගමනවලට එළැඹිය නොහැකි බවත් ඩෙන්මාර්ක සෞඛ්‍ය අමාත්‍ය මැග්නස් හේයුනික් පැවැසීය.

“අපි ඉක්මනින් ප්‍රතිචාර දැක්වූවා. මේ සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් කළ යුතු” යැයි හෙතෙම ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කළේය.

“අපි ඩෙන්මාර්ක ඉතිහාසයේ වඩාත් වැදගත්ම සහ විශාලතම එන්නත්කරණ වැඩසටහන ආරම්භ කර තිබෙනවා. ඒ වගේම මේ වෙලාවේ අපට ගන්න පුළුවන් එන්නත් ඔක්කොම අපිට වුවමනායි. ඒ නිසා එක් එන්නතක් ජනතාවට ලබාදීම තාවකාලිකව නැවැත්වීම පහසු තීරණයක් නෙමෙයි. අපි බොහෝ දෙනකුට මෙම එන්නත ලබාදෙන නිසා යම් කිසි අතුරු ආබාධයක් පිළිබඳ දැනුවත් වූ වහාම අපට ඊට ප්‍රතිචාර දක්වන්න සුදුවෙනවා. ඒ වගේම මෙය දරුණු අතුරු ආබාධ තත්ත්වයක්. ඒ වගේම මෙය දරුණු අතුරු ආබාධ තත්ත්වයක්. අපි තත්ත්වය නිරාකරණය කරගන්න අවශ්‍යයි. ඊට පස්සේ අපට නැවතත් ඇස්ට්‍රාසෙනකා එන්නත ලබාදෙන්න පුළුවන්” යැයි ඩෙන්මාර්කයේ ජාතික සෞඛ්‍ය මණ්ඩලයේ අධ්‍යක්ෂ සර්න් බ්‍රොස්ට්‍රම් පැවැසීය.

යුරෝපා සංගම් වෛද්‍ය ආයතනය, නෝර්වේ සහ අයිස්ලන්ත සෞඛ්‍ය බලධාරීන් ද මේ සම්බන්ධයෙන් නිවේදන නිකුත් කර තිබිණි.

වයස අවුරුදු 55ත් 65ත් අතර පුද්ගලයන්ට ඇස්ට්‍රසෙනකා එන්නත ලබාදීම තාවකාලිකව අත්හිටුවන බව ස්පාඤ්ඤ මහජන සෞඛ්‍ය කොමිසම ඉකුත් බ්‍රහස්පතින්දා නිවේදනය කළේය.  

ඒ අනුව යුරෝපා රටවල් රැසක්ම මේ වනවිට කිහිපයක් ඔක්ස්ෆර්ඩ්-ඇස්ට්‍රසෙනකා කොවිඩ්-19 එන්නත ජනතාවට ලබාදීම තාවකාලිකව අත්හිටුවීමට පියවර ගෙන ඇත.

සී.එන්.එන්.


RECOMMEND POSTS