ට්‍රම්ප්ට දෝෂාභියෝගයක්



 (රොයිටර්)
ජනපති ධුරයේ දිවුරුම් දීමට පෙර, රිපබ්ලිකන් අපේක්ෂක ඩොනල්ඞ් ට්‍රම්ප්ට එරෙහිව දෝෂාභියෝගයක් ගෙනඒමේ සැලැස්මක් ඇමෙරිකන් පුවත් සේවා ඊයේ (12) වාර්තා කළේය.
එම දෝෂාභියෝගය ගෙනෙනු ඇත්තේ පෙත්සමක් හරහා ට්‍රම්ප්ට අතීතයේ එල්ල වී ඇති ලිංගික අපචාර, බදු වංචා ආදී චෝදනා ඉදිරිපත් කරමිනි.
පරාජයට පත්වුණු හිලරි ක්ලින්ටන්ගේ ඩිමොක්‍රටික් පක්ෂය, ඇමෙරිකාවේ ව්‍යවස්ථාවට අනුව, සියලු නීතිමය කරුණු කාරණා අධ්‍යනය කරමින් සිටින බව ද ඇමෙරිකන් පුවත් සේවා වැඩි දුරටත් කියා සිටී. එසේ ඉදිරිපත් කළ යුතු පෙත්සමකට අත්සන් 33,000 කට වැඩියෙන් ලැබිය යුතු බව ද පැවැසෙයි.
රිපබ්ලිකන් පක්ෂය පෙන්වා දෙන්නේ, ට්‍රම්ප් විශිෂ්ඨ ජයග්‍රහණයක් ලැබූ හෙයින් ඔහුට එරෙහිව දෝෂාභියෝගයක් ගෙන ඒම පහසු කාර්යයක් නොවනු ඇති බවය.
ජනපතිවරණ ප්‍රතිඵලය සම්බන්ධයෙන් ඇමෙරිකාව දෙකඩ වී, එම ප්‍රතිඵලය ප්‍රතික්ෂේප කිරීමට බොහෝ දෙනා කටයුතු කළ ඉතිහාසයේ පළමු අවස්ථාව මෙය බව ද ඇමෙරිකන් පුවත් සේවා වාර්තා කරයි.
ට්‍රම්ප්ගේ ජය ප්‍රතික්ෂේප කරමින්, පසුගිය සතිඅන්තය පුරාවට ද ඇමෙරිකාවේ ප්‍රධාන නගරවල විරෝධතා රැලි පැවැත්විණි. කලහකාරීව හැසිරුණු පිරිස් පාලනය කිරීමට කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කළ බව පොලිසිය පැවැසීය.
සාම්ප්‍රදායික ලෙස ඩොනල්ඞ් ට්‍රම්ප් ධවල මන්දිරයට පිළිගත් අවස්ථාවේදී ඔබාමා ඔහුගේ ඩිමොක්‍රටික් පාක්ෂිකයන්ගෙන් ඉල්ලා සිටියේ ට්‍රම්ප්ට විරෝධය පාන්නේ නැතිව, ඔහුට සහ රිපබ්ලිකන් පක්ෂයට සහාය ලබා දෙන ලෙසය.


RECOMMEND POSTS