කුණාටු දෙකක් ඉතාලිය කලඹයි



පැයට කිලෝ මීටර් 180 ක වේගයකින්, මහ වැසි ද සමඟ ප්‍රචණ්ඩ සුළි කුණාටු දෙකක් ඉතාලිය හරහා හමා ගියේය.

සුළි කුණාටුවලින් බලපෑම් එල්ල වූයේ බටහිර සහ උතුරු ඉතාලියටය. ඉතාලි කාලගුණ විද්‍යාඥයන් පෙන්වා දුන්නේ අනපේක්ෂිත අයුරින් ටෝනාඩෝ වර්ගයේ සුළි කුණාටු දෙකක් කඩා වැදුණු බවය.

සුළි කුණාටු ගැන කල්තියා අනතුරු ඇඟවීමට කාළගුණ විද්‍යාඥයන්ට හැකි විය. ඒ අනුව අනාරක්ෂිත ප්‍රදේශවල වැසියන් කඩිනමින් ආරක්ෂිත ස්ථාන වෙත යොමු කෙරුණි. සුළි කුණාටු හේතුවෙන් මියගිය ගණන 11 කි. තුවාල ලැබූ 14 දෙනෙකු රෝහල් ගත කළ බව වාර්තා වේ.

සුළි කුණාටුවලින් දරුණු ලෙස හානි සිදුවූයේ ‘ටෙරාසිනා’ වෙරළාශ්‍රිත නගරයටය. මහ වැසි, ප්‍රචණ්ඩ සුළං සහ ජල ගැලීම්වලින් බලපෑම් එල්ල වුණු නගරවල කාර්යාල, පාසල් වසා දැමුණි.

ඇල මාර්ග පද්ධතියක් කේන්ද්‍රකොටගත් වෙනීසියේ ද ජල මට්ටම ඉහළ ගියේය. නගර බලධාරීන් කියා සිටියේ, වෙනිසියේ 3/4 ක් ජලයෙන් යටවුණු බවය. ජල ගැලීම් හේතුවෙන් නගර වැසියෝ දැඩි අපහසුතාවට පත් වූහ.

ගස් කඩා වැටීමෙන් නිවාස සහ මෝටර් රථවලට හානි සිදුවිය. පළාත් රැසකට විදුලි බලය අහිමි වී ඇති බව ද පැවැසෙයි. විදුලි බල සැපැයුම යළි යථාතත්ත්වයට පත් කිරීමට කඩිනමින් පියවර ගන්නා බව බලධාරීහු වැඩි දුරටත් කියා සිටිති.

(රොයිටර්ස්)

 


RECOMMEND POSTS