රෙදි පිලි ආනයනය කර නෑ



ශ්‍රී ලංකාව උතුරු කොරියාවෙන් රෙදි පිලි ආනයනය කර නොමැති බවත , එරටින් ශ්‍රී ලංකාව රෙදි පිලි ආනයනය කර ඇති බවට පළ වන වාර්තා අසත්‍ය බව විදේශ කටයුතු අමාත්‍යංශය පවසයි.

2017 ඔක්තෝබර් මාසයේ සිට මේ වසරේ මාර්තු මාසය දක්වා කාලය තුළ ශ්‍රී ලංකාව උතුරු කොරියාවෙන් රෙදි පිලි ආනයනය කර ඇති බවට වාර්තා පළ වී තිබිණි. එම තොරතුරු සාවද්‍ය බවයි අදාළ වාර්තා සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් විදේශ කටයුතු අමාත්‍යංශය පෙන්වා දේ.

ශ්‍රී ලංකාව උතුරු කොරියාවෙන් රෙදි පිලි ආනයනය කර නොමැති අතර රේගුවේ ස්වංක්‍රීය දත්ත ක්‍රියායන පද්ධතියයට රේගු කාර්යාල නියෝජිතයින් විසින් දත්ත ඇතුළත් කරන ක්‍රියාවලියේදී වැරදීමක්  සිදුව ඇති බවද විදේශ කටයුතු අමාතයංශය කියා සිටී.

කොරියානු ජනරජය වෙනුවට කොරියානු  මහජන ප්‍රජාතන්ත්‍රවාදී ජනරජය ලෙස වැරදීමකින් අවස්ථා කිහිපයකදී තෝරාගෙන ඇති අතර අදාළ අත්වැරදීම පිළිබඳ ආරක්ෂක මණ්ඩලය දැනුවත් කිරීමට ද පියවර ගෙන තිබේ.

යලි එවැනි වැරදි සිදුවීම වැලැක්වීම සදහා වූ යාන්ත්‍රණයක් ශ්‍රී ලංකා රේගුව ආරම්භ කර ඇති බව විදේශ කටයුතු අමාත්‍යංශය වැඩිදුරටත් සඳහන් කළේය.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාමාජික රාජ්‍යයක් වශයෙන් ශ්‍රී ලංකාව සතු ජාත්‍යන්තර බැඳීම් අනුව කොරියානු මහජන ප්‍රජාතන්ත්‍රවාදී ජනරජය සම්බන්ධ එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩල යෝජනා සම්මත වල ප්‍රතිපාදන වලට ශ්‍රී ලංකා රජය බැඳී සිටින බව විදේශ කටයුතු අමාත්‍යංශය වැඩිදුරටත් කියා සිටී.

අදාළ යෝජනා සම්මත වලට පටහැනිව ශ්‍රී ලංකාව කටයුතු කර නොමැති අතර එම රෙගුලාසි ක්‍රියාත්මක කිරීම ගැසට් මගින් ද ප්‍රකාශයට පත් කර ඇති බව විදේශ කටයුතු අමාත්‍යංශය පෙන්වාදෙයි.

( තිළිණි ද සිල්වා )

 


RECOMMEND POSTS