පුරවැසිභාවය ඉල්ලලා



ජූලි මාසයේ සිට මේ දක්වා ගත වූ මාස එකහමාරකට ආසන්න කාලය තුළදී මෙරට පුරවැසිභාවය ඉල්ලා උතුරේ වැසියන් 443 දෙනෙකු අයදුම්පත් බාර දී ඇතැයි විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කරයි.

යුද ගැටුම් පැවති කාලවලදී සරණාගතභාවය ඉල්ලා විදෙස් රටවලට ගොස් , ගැටුම් නිමවු පසුව යළි මෙරටට පැමිණි පුද්ගලයින් පිරිසක් මෙලෙස අමාත්‍යාංශයේ කොන්සියුලර් අංශය හරහා මෙම පුරවැසිභාවය ලබා ගැනීම සඳහා වූ අයඳුම්පත් යොමු කර ඇති බවද එම අමාත්‍යාංශය සඳහන් කර සිටී.

ඒ අනුව කිළිනොච්චි ප්‍රදේශයේ පුද්ගලයින් 201 සහ මන්නාරම ප්‍රදේශයේ පුද්ගලයින් 242 දෙනෙකු පුරවැසිභාවය ලබා ගැනීම සඳහා වූ අයදුම්පත් බාර දී ඇත.

විදේශ කටයුතු අමාත්‍යාංශය විසින් සම්බන්ධීකරණය කළ ජංගම කොන්සියුලර් සේවාවාවන් දෙකක් මාස එකහමාරක කාලය තුළ පැවැත්වූ අතර එහි පළමු ජංගම කොන්සියුලර් සේවාව ඉකුත් ජූලි 01සහ 02 දක්වා කිලිනොච්චි නගරයේදී පැවත්විණි. දෙවැනි ජංගම සේවාව විදේශ කටයුතු අමාත්යන තිලක් මාරපන මහතාගේ ප්‍රධානත්වයෙන් ඉකුත්  12 සහ  13 යන දෙදින තුළ මන්නාරම නගර ශාලාවේදී පැවැත්විණි.

යුද ගැටුම්  පැවැති  කාලසීමාවේදී  විදෙස්  රටවල  සරණාගතභාවය  සොයා ගොස්  ගැටුම් නිමවූ  පසු  යළි ශ්‍රී ලංකාවට පැමිණි පුද්ගලයන්ගේ කොන්සියුලර් සේවා අවශ්‍යතාවන් ඉටුකිරීම වෙනුවෙන් මෙම ජංගම කොන්සියුලර් සේවාවේ අරමුණ විය.

කිලිනොච්චි නගරයේ පැවති ජංලම කොන්සියුලර් සේවාවේදී පුරවැසිභාවය ලබාගැනීම සඳහා වූ  අයැදුම්පත් වලට අමතරව කොන්සියුලර් උප්පැන්න සහතික 61 ක්  නිකුත් කර තිබේ.මන්නාරම පැවති ජංගම කොන්සියුලර් සේවාවේදී කොන්සියුලර් උප්පැන්න සහතික 59 ක් නිකුත් කරනු ලැබූ බව විදේශ අමාත්‍යාංශය කියා සිටී.

ඊට අමතරව පුරවැසිභාවය සහ උප්පැන්න සහතික පිළිබඳ උපදෙස් හා මාර්ගෝපදේශ අවශයවූවන්ට ඒ සම්බන්ධයෙන් නිසි දැනුවත් කිරීමක්ද සිදු කෙරිණි.

විදේශ කටයුතු අමාත්‍යාංශය, රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව හා ආගමන විගමන දෙපාර්තමේන්තුවේ පුරවැසිභාවය පිළිබඳ අංශය යන ආයතනවල නිලධාරීන් විසින් මෙම ජංගම කොන්සියුලර් සේවා වැඩසටහන මෙහෙයවීමට සහයෝගය ලබා දී ඇත.

( තිළිණි ද සිල්වා )

 


RECOMMEND POSTS