නීත්‍යනුකූල අගමැති ලෙස පිළිගන්නවා



ජාත්‍යන්තර ප්‍රජාව රනිල් වික්‍රමසිංහ මහතා ශ්‍රී ලංකාවේ නීත්‍යනුකූල අග්‍රාමාත්‍යවරයා  ලෙස පිළිගන්නා බව එක්සත් රාජධානියේ පාර්ලිමේන්තුව අමතමින් එරට කොන්සර්වේටිව් පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සර් හියුගෝ ස්වයර් මහතා පැවැසීය.

ශ්‍රී ලංකාවේ වත්මන් දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් එක්සත් රාජධානියේ විදේශ ලේකම්වරයා (විදේශ කටයුතු පිළිබඳ අමාත්‍යවරයා) වෙත ප්‍රශ්නයක් යොමු කරමින් සර් හියුගෝ ස්වයර් මහතා ඒ බව සඳහන් කළේය.

එහිදි තවදුරටත් අදහස් දැක්වූ හියුගෝ ස්වයර් මහතා මෙසේ ද කීය.

“ විදේශ ලේකම්වරයා මේ සතියේ ශ්‍රී ලංකා ජනාධිපති අමතනවා. ජනාධිපතිවරයා ගෙන ඇති ක්‍රියාමාර්ග දහනව වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට පටහැණි බවත් ජාත්‍යන්තර ප්‍රජාව රනිල් වික්‍රමසිංහ මහතා ශ්‍රී ලංකාවේ නීත්‍යානුකූල අගමැති ලෙස තවදුරටත් පිළිගන්නා බවත්, එය වෙනස් කළ හැක්කේ පාර්ලිමේන්තුවේ පවත්වන ඡන්දයකදී පමණක් බවත්, එසේ ඡන්ද විමසීමක් පැවැත්වීමට නම් පාර්ලිමේන්තුව කඩිනමින් රැස් කළ යුතු බවටත් මගේ මිත්‍රයා ජනාධිපති සිරිසේන මහතාට පෙන්වා දෙන්නේ දැයි මා විමසා සිටිනවා”.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට එම කරුණු පෙන්වාදෙන බව ඊට පිළිත-ුරු දෙමින් විදේශ අමාත්‍ය ජෙරමි හන්ට් පැවැසීය. ඔහු එහිදි මෙසේ ද කීය.

“මම ජනාධිපති සිරිසේන මහතාට එම කරුණු පෙන්වාදීමට බලාපොරොත්තු වෙනවා. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ද ඇතුළුව බොහෝ මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් ද අපි සැලකිලිමත් වෙනවා. ශ්‍රී ලංකාවේ තත්ත්වය සම්බන්ධයෙන් අපි දැඩි විමසිල්ලෙන් පසුවෙනවා”.

කතානායකවරයා සමඟ සාකච්ඡා කර කඩිනමින් පාර්ලිමේන්තුව කැඳවන්නැයි ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට අවධාරණය කරන බව ශ්‍රී ලංකාවේ වත්මන් දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් එක්සත් රාජධානියේ ආසියානු සහ ශාන්තිකර කටයුතු පිළිබඳ අමාත්‍ය මාර්ක් ෆීල්ඞ් මහතා සඳහන් කර තිබිණි.

එක්සත් රාජධානිය යනු ශ්‍රී ලංකාවේ ප්‍රධානතම අපනයන වෙළෙඳපොළක් වන අතර ශ්‍රී ලංකා මහ බැංකුවට අනුව පසුගිය අගෝස්තු සහ සැප්තැම්බර් යන මාසවලදී ශ්‍රී ලංකාවට වැඩියෙන්ම සංචාරකයන් පැමිණ ඇත්තේ ද එක්සත් රාජධානියෙනි.

හර්ෂණ තුෂාර සිල්වා


RECOMMEND POSTS