ආසාදිතයන් හමුවී නැහැ - ශ්‍රී ලංකන්



ඩුබායි සිට ෂැංහයි දක්වා ගුවන් ගමන් දෙකක් ක්‍රියාත්මක කළ බවත් ඒ කිසිදු අවස්ථාවකදී ‘කොවිඩ්-19’ ආසාදිතයන් හමු නොවූ බවත් ‘ශ්‍රී ලංකන් එයාර්ලයින්ස්’ ගුවන් සේවය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

ශ්‍රී ලංකන් එයාර්ලයින්ස් ගුවන් සේවය කොළඹ- ෂැංහයි ගුවන් ගමන් අගෝස්තු 17 වැනිදා සිට සති හතරකට නවත්වන බව චීනයේ සිවිල් ගුවන් සේවා අධිකාරිය උපුටා දක්වමින් රොයිටර්ස් පුවත් සේවය ඉකුත් දා (13) වැනිදා වාර්තා කර තිබිණි.

එම මාර්ගය හරහා පැමිණෙන මගීන්ගෙන් වැඩිදෙනකුට නව කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බැවින් එම තීරණය ගෙන ඇතැයි ද චීන සිවිල් ගුවන් සේවා අධිකාරිය සඳහන් කර තිබිණි.

මේ සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කිරීමක් කරන ශ්‍රී ලංකන් ගුවන් සේවය, අගෝස්තු 7 වැනිදා ඩුබායි සිට කොළඹ හරහා ෂැංහයි දක්වා චීන ජාතිකයන් 223 දෙනකු රැගත් විශේෂයෙන් වෙන් කරවා ගත් ගුවන් යානාවක් ක්‍රියාත්මක කළ බවත් ඊට පෙර ඩුබායි සිට ෂැංහයි දක්වා ඒ හා සමාන ගුවන් ගමන් දෙකක් ක්‍රියාත්මක කළ බවත් සඳහන් කළේය. ඒ කිසිදු අවස්ථාවකදී ‘කොවිඩ්-19’ ආසාදිතයන් හමු නොවූ බවත් ‘ශ්‍රී ලංකන් එයාර්ලයින්ස්’ ගුවන් සේවය නිකුත් කළ නිවේදනයේ දැක්වේ.


RECOMMEND POSTS