රැකියා දෙනවැයි වංචා කළ කත කොටුවෙයි



විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ අනුමැතියකින් තොරව නීතිවිරෝධි විදේශ රැකියා නියෝජිත ආයතනයක් පවත්වාගෙන ගිය කාන්තාවක් කාර්යාංශයේ විශේෂ විමර්ශන නිළධාරීන් විසින් අත්අඩංගුවට ගන්නා ලදී.

ලියාපදිංචි රැකියා ඒජන්සියක් පවත්වාගෙන ගොස් ඇති ඇය එම ඒජන්සියේ දී සිදුකළ නොයෙක් වංචා දූෂණ හේතුවෙන් එය තහනම් කර ඇති  බැවින් මෙසේ ව්‍යාජ ඒජන්සියක් ආරම්භ කොට ඇතැයි මේපිළිබඳ කළ පරික්ෂණයේ දී හෙලි වී තිබේ.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ අනුරාධපුර, නව නගරය, 03 වන වීදිය, අංක 561/87 දරන ස්ථානයේ  විදේශ රැකියා නියෝජිතායතනයක් පවත්වාගෙන ගිය 57 හැවිරිදි කාන්තාවකි.

මෙම කාන්තාව නිතිවිරෝධි අයුරින් විදේශ රැකියා නියෝජිතායතනයක් පවත්වාගෙන යන බවට කාර්යාංශ විමර්ශන නිළධාරීන්ට ලද තොරතුරු අනුව මෙම වැටලීම සිදු කර ඇති අතර වැටලීම සිදුකරන අවස්ථාවේදී එහි තිබී ගමන් බලපත්‍ර 45 ක්, පවුල් පසුබිම් වාර්තා, වෛද්‍ය සහතික, රැකියා වීසා බලපත්‍ර, අදාල ආයතනයේ ලිපි ශිර්ෂ හා තවත් ලේඛන රැසක් විමර්ශන නිළධාරීන් භාරයට ගෙන තිබේ.

මේ පිළිබදව වැඩිදුර කරුණු සොයා බැලීමේදී මෙම සැකකාරිය විසින් ගලේවෙල ප්‍රදේශයේ ඉෂාර විදේශ රැකියා ආයතනය නමින් කාර්යාංශයේ ලියාපදිංචිය ඇතිව විදේශ රැකියා ආයතනයක් පවත්වාගෙන ගොස් ඇති බවත්, එහි විවිධ අක්‍්‍රමිකතා හේතුවෙන් එහි බලපත්‍රය 2016.01.01 දින අත්හිටුවා ඇති බවත් අනාවරණය වූ බව කාර්යංශයේ විමර්ෂන අංශයේ නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය.

එසේම මෙම සැකකාරියට විරුද්ධව මීට පෙරද කාර්යාංශයට පැමිණිලි ලැබී ඇති අතර, ඒ පිළිබදවද පරීක්ෂණ කටයුතු ආරම්භ කර ඇත.

සැකකාරිය අනුරාධපුර කම්කරු විනිශ්චය සභාව වෙත ඉදිරිපත් කර ඇති අතර, රු.50,000 ක මුදල් ඇප හා රුපියල් ලක්ෂ දෙකක ශරීර ඇපමත මුදාහැර තිබේ.

මෙම වැටලීම සදහා නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (නීති) කීර්ති මුතුකුමාරණ මහතා හා කළමනාකරු (විශේෂ විමර්ශන) පොලිස් පරික්ෂණ අතුල පෙරේරා යන මහත්වරුන්ගේ උපදෙස් මත උප පොලිස් පරික්ෂණ නුවර පක්ෂ, කාර්යාංශ නිළධාරී පුලස්ති දර්ශන යන නිළධාරීන් සහභාගි වී තිබේ.

විනීතා එම් ගමගේ

 


RECOMMEND POSTS