හෙදියන් 600කට වඩා කොරෝනා හේතුවෙන් මියගිහින්



ලොව පුරා හෙදියන් 600කට වැඩි පිරිසක් කොවිඩ් - 19 රෝගයෙන් මියගොස් ඇතැයි ජාත්‍යන්තර හෙද කවුන්සිලය පවසයි.

එසේම ලොව පුරා සෞඛ්‍ය සේවකයින් 450,000කට රෝගය ආසාදනය වී ඇතැයි ද ඔවුහු පවසති.

රටවල් 30කට වැඩි සංඛ්‍යවකින් මෙම තොරතුරු රැස්කර තිබේ.

"පසුගිය මාස දෙක තුළ ලොව පුරා සිදුවූ මරණ සංඛ්‍යාව 100 සිට 600 දක්වා වැඩි වී ඇත. බොහෝ රටවල් සෞඛ්‍ය සේවකයින් වයිරසයට නිරන්තරවම නිරාවරණය වෙමින් සිටියි. මෙම සංඛ්‍යා දිගින් දිගටම ඉහල යනවා." යැයි ජාත්‍යන්තර හෙද කවුන්සිලයේ ප්‍රධාන වාධායක නිලධාරී හොවාර්ඩ් කැටන් පවසා ඇත.

ඔවුන් පවසන්නේ කොවිඩ් - 19 ආසාදිතයන්ගෙන් 7%ක් සෞඛ්‍ය සේවකයන් බවයි.

කෙසේවුවද සැබෑ අගයන් මීට වඩා වැඩිවිය හැකි බවද හෙදියන් සහ අනෙකුත් කාර්යමණ්ඩලය දැඩි අවදානමක සිටින බවද ඔවුහු වැඩිදුරටත් පවසති.

සෞඛ්‍ය සේවකයින් අතර ආසාදන අනුපාතය රටකින් රටකට බෙහෙවින් වෙනස් වෙයි. එය සිංගප්පූරුවේ 1% අඩුවන අතර අයර්ලන්තයේ 30%කට වඩා වැඩි වේ.

ස්පාඤ්ඤයේ සහ ජර්මනියේ කොරෝනා රෝගය විශාල වශයෙන් පැතිර ගියද සෞඛ්‍ය සේවකයින්ගේ මරණ වාර්තා වී ඇත්තේ අඩු සංඛ්‍යාවකි.

වසංගතයේ නව කේන්ද්‍රස්ථානය ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන, ලතින් ඇමරිකානු රටවල හෙදියන් අතර මරණ අනුපාතය වැඩි වී ඇතැයි ද හෙද සංවිධානය පෙන්වා දෙයි.

සෞඛ්‍ය සේවකයින් සම්බන්දව නිවැරදි දත්ත ලබාදෙන ලෙසත් ඔවුන්ගේ ආරක්ෂාව සහතික කරන ලෙසත් සියලු රටවලින් ජාත්‍යන්තර හෙද සංවිධානය ඉල්ලා ඇත.


RECOMMEND POSTS