කොරෝනා දෙවැනි රැල්ල ගැන කොරියාව අවධානයෙන්



දකුණු කොරියාව කොරෝනා වසංගතයේ දෙවැනි රැල්ල පිළිබඳ ඊයේ (10) අනතුරු ඇඟවූයේය. ඒ මාසයක කාලයක් තුළ දී යළි වසංගතය ඉහළ මට්ටමට පැමිණීමත් සමගිනි.

''වයිරසය අවසන් වනතුරු අවදානම අවසන් වන්නේ නැත." යැයි ජනාධිපපති මූන් ජේ-ඉන් ජාතිය අමතමින් කියා සිටියේය. නව පොකුරු ආසාදිතයන හේතුවෙන් වයිරසය බහුලව පැතිරයා හැකි බවත් මේ යළි දෙවැනි රැල්ලක් ඇතිවිය හැකි බව අනතුරු අඟවන බවත් ජනාධිපතිවරයා කියා සිටියේය.

කොරියාවේ රෝග පාලනය හා වැළැක්වීමේ මධ්‍යස්ථානය විසින් පසුගිය අප්‍රේල් 09 වැනිදා සිට ගත වූ මාසයක කාලයේ දී නව ආසාදිතයන් 34ක් වාර්තා කර ඇත. රාත්‍රී සමාජශාලා ආශ්‍රයෙන් රෝගීන් වාර්තාවීම හේතුවෙන් රාත්‍රී විනෝදාස්වාද පහසුකම් තාවකාලිකව වසා දැමීමට ද පියවර ගෙන තිබේ.

මේ දක්වා කොරියාවේ මියගිය සංඛ්‍යාව 256 දෙනෙකි. සමාජශාලාවලට දින දෙක තුනක කාලයක් පරීක්ෂාකර බලන බවත් මින් ඉහත සැළසුම් කළ පරිදි මැයි 13 සිට පාසල් නැවත විවෘත කරන්නේ ද යන්න පිළිබඳ නැවත සළකා බලන බවත් සෞඛ්‍ය අමාත්‍ය නියුන්ග් - හූ මහතා කියා සිටියේය.

දකුණු කොරියාවේ ‍ආසාදිත බව පුළුල් ලෙස පරීක්ෂා කිරීම්, සම්න්ධතා සොයා ගැනීම් සහ ඔවුන් පිළිබඳ නිරීක්ෂණය තුළින් ආසාදනය වීමේ අවස්ථාවන් අවම කරගැනීමට කොරියාවට හැකියාව ලැබිණි. ආසියාවේ සිව්වැනි විශාලතම ආර්ථිකයට හිමිකම් කියන දකුණු කොරියාව වෙනත් රටවල මෙන් අගුළු දැමීමකින් තොරව වසංගතය පාලනය කිරීමට උත්සාහ ගෙන තිබිණි.

පසුගිය සති 10ක කාලයේ දී දිනකට ආසාදිතයන් 10ක් හෝ ඊට අඩු ගෘහස්ථ රෝගීන් ගණනක් හෝ ඉතා සුළු ප්‍රමාණයක් වාර්තා වී තිබේ. දැඩි සමාජ දුරස්ථභාවයක් ක්‍රියාත්මක කළ අතර රජය විසින් පනවා තිබූ යම් යම් සීමා කිරීම් ද ලිහිල් කර පාසල් හා ව්‍යාපාර සම්පූර්ණයෙන් ම විවෘත කිරීමට පියවර ගනිමින් සිටිය දී මෙලෙස දෙවැනි රැල්ලක් ආරම්භ වෙමින් පවතී.

''වසංගතය වැළැක්වීම සම්බන්ධයෙන් අප කිසි විටෙක අපගේ ආරක්ෂාව අඩු නොකළ යුතුය." ජනාධිපතිවරයා රූපවාහිනියෙන් ජනතාව අමතමින් කියා සිටියේය.

''අපි ඉන්නේ දීර්ඝ කාලීන යුද්ධයක. දෛනික ජීවිතය නැවත ආරම්භ කිරීමෙන් පසුව පවා තත්ත්වය අවසන්වනතුරු ආරක්ෂක පියවරයන් සහ නීතිරීතිවලට අනුකූල වන ලෙස මම සියලු දෙනාගෙන් ඉල්ලා සිටිනවා " යැයි හෙතෙම කියා සිටියේය.

කෙසේ වෙතත් මේ නව රැල්ලට හේතුවී ඇත්තේ රාත්‍රී සමාජශාලා ආශ්‍රිත සිද්ධියකි. එවැනි එක් ස්ථානයකට පැමිණි වයස අවුරුදු 20ක පමණ තරුණයකු හේතුවෙන් වයිරසය සම්ප්‍රේෂණය වූ බව තහවුරු වී තිබේ. මේ නව රැල්ලේ වාර්තා වූ ආසාදිතයන් 26 දෙනාගෙන් 24 දෙනකු ම ආසාදනය වී ඇත්තේ එම තරුණයාගෙන් බව සෞඛ්‍ය අංශ පවසයි. සමාජශාලා වෙත ගොස් ඇති පුද්ගලයන් 1,900ක් පමණ පිරිස ඇසුරු කළ අය 7,000ක් දක්වා වැඩි විය හැකි බව සෞඛ්‍ය අංශ පවසයි. එබැවින් පසුගිය සතියේ රාත්‍රී සමාජශාලාවලට ගිය සියලු දෙනා සති දෙකක කාලයක් ස්වයං නිරෝධායනයකට යොමුවී පරීක්ෂාවෙන් සිටිය යුතු බව කොරියාවේ සෞඛ්‍ය අමාත්‍යාංශය පවසා ඇත.

මේ හේතුවෙන් යළිත් වරක් වයිරසය වේගනේ ව්‍යාප්ත වීමේ අවදානමක් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.


RECOMMEND POSTS