ඉන්දියාවේ ට්‍රක් රථ අනතුරින් 23ක් මරුට



ඉන්දියවේ උතුරු දිග ඌරියා ප්‍රදේශයේදී සංක්‍රමණික කම්කරුවන් පිරිසක් රැගත් ට්‍රක් රථයක් අනතුරට ලක්වීමෙන් 23 දෙනකු මියගොස් 35 දෙනකු තුවාල ලබා ඇතැයි වාර්තා වේ.

අවන්හලක් අසල නවතා තිබූ ට්‍රක් රථය තවත් ට්‍රක් රථයක ගැටීමෙන් අනතුර සිදුව ඇත.

බිහාර්, ජාර්කාන්ද් හා බටහිර බෙංගාලයේ සිට පැමිණි සංක්‍රමණිකයින් පිරිසක් මෙලෙස අනතුරට ලක්ව තිබේ.

ඉන්දියාවේ කොරෝනා වයිරසය ව්‍යාප්ත වීම හේතුවෙන් හදිසියේ පැනවූ අගුලු දැමීමෙන් බොහෝ සංක්‍රමණික කම්කරුවන් නගරවල සිරවිය.

දෛනික වැටුප් මත යැපෙන මොවුන් රැකියාව අහිමි වීම හේතුවෙන් ගම්බිම් වලට යෑමට උත්සාහ කළද පොදු ප්‍රවාහන සේවා ක්‍රියාත්මක නොවූ නිසා බලවත් අපහසුතාවයන්ට මුහුණ දුන් බව මාධ්‍ය වාර්තා කර තිබිණි. 

කිලෝමීටර් සිය ගනනක් දුර පයින් ගමන් කිරීම හෝ ට්‍රක් රථවල පිටුපස එල්ලී ගමන් කිරීම හැර වෙනත් විකල්පයක් ඔවුනට නොවීය.

පසුගිය සතියේ එලෙස තම ගම්බිම් කරා පයින් ගමන් කළ පිරිසක් දුම්රිය මාර්ගයේ නිදා සිටින විට ඔවුන් මතින් දුම්රියක් ගමන් කිරීම හේතුවෙන් හය දෙනකු මිය ගියහ.

සංක්‍රමණික කම්කරුවන් නැවත සිය ගම්බිම් කරා ගෙනයෑම සඳහා බස් රථ හා කුලී රථ යොදවන ලෙස උත්තර ප්‍රාන්තයේ මහ ඇමති යෝගී ආදිත්‍යනාත් විසින් ප්‍රාන්ත පොලිස් නිළධාරීන්ට නියෝග කර තිබිණි. පයින්, බයිසිකල් වලින් හෝ ට්‍රක් රථ වලින් ගමන් කිරීම ද තහනම් කළේය.


 


RECOMMEND POSTS