ළැව් ගිනි නිවන බොලිවියා ජනපති



ලතින් ඇමෙරිකා රාජ්‍යයක් වන බොලිවියාවට අයත් ඇමසන් වනාන්තරයට ද ළැව් ගිනි පැතිරී යමින් පවතින අතර, බොලිවියා ජනාධිපති ඊවෝ මොරාලේස් ද ගිනි නිවන භටයන්ට සහාය දැක්වීමට එක් වී සිටී.

බොලිවියායට අයත් වන්නේ ඇමසන් වනාන්තරයෙන් ඉතා සුළු ප්‍රමාණයකි. ඇමසන් වනාන්තරය වර්ග කිලෝ මීටර් 5,500,000 ක් පුරා පැතිරී පවතී. වැසි වනාන්තරයෙන් සියයට 60 ක් අයිති බ්‍රසීලයටය. සති ගණනක් තිස්සේ ළැව් ගිනි පැතිර යෑම ආරම්භ වූයේ බ්‍රසීල ඇමසන් වනාන්තරය දෙමිනි. දැන් එම ළැව් ගිනි මුළු ඇමසන් වනාන්තරයටම තර්ජනයක් වී ඇත.

බොලිවියාව බ්‍රසීලයේ අසල්වැසියෙකි. 59 හැවිරිදි බොලිවියානු ජනාධිපති ඊවෝ මොරාලේස් ස්වදේශීක ගෝත්‍රික වැසියෙකි. මොරාලේස් බොලිවියාවේ ජනපති ධුරය හොබවන්නේ 2006 වසරේ සිටය.

ස්වදේශීය ගෝත්‍රික වැසියකු බැවින්, ඇමසන් වැසි වනාන්තරය ආරක්ෂා කර ගැනීමේ වැදගත්කම ඔහු හොඳින් දනී. ඇමසන් වනාන්තරය සුරැකීම වෙනුවෙන් මොරාලේස් ප්‍රතිපත්ති රැසක් ද ක්‍රියාවට නංවා ඇත.

බ්‍රසීලයෙන් ආරම්භ වුණු ළැව් ගිනි තම දේශසීමාවට ළං වෙද්දී, මොරාලේස් රුසියා ජනපති ව්ලැදිමීර් පුටින්ගෙන් සහ ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්ගෙන් සහාය ඉල්ලා සිටියේ ගිනි නිවා දැමීමට ජලය ඉසින ගුවන් යානා අවශ්‍ය බව කියමිනි.

එම ඉල්ලීමට පළමුවෙන් ක්ෂණිකව පිළිතුරු දැන්නේ රුසියානු ජනාධිපතිවරයාය. රුසියාවත් ඇමෙරිකාවත් මේ වනවිට ජලය ඉසින දැවැන්ත ගුවන් යානා බොලිවියට යවා ඇත. එම ගුවන් යානා ජලය ටොන් ගණනක් ඉසිමින්, ගිනි පාලනය කිරීම සිදු කරන බව බොලිවියානු පුවත් සේවා වාර්තා කරයි.

බොලිවියානු ජනපති ගිනි නිවන භටයන්ට සහාය දක්වමින්, ළැව් ගිනි නිවා දමන අයුරු දැක්වෙන ඡායාරූප සහ වීඩියෝ දසුන් මේ වනවිට සමාජ ජාල ඔස්සේ ප්‍රසිද්ධියට පත් වී ඇති අතර, ළැව් ගිනි නිවා දැමීමට ජනපති මොරාලේස්ගේ දායකත්වය බොහෝ දෙනාගේ ඇගයීමට ලක් වී ඇත.

(රොයිටර්ස්)


RECOMMEND POSTS