ධවල මන්දිරයේ හොලොවීන් සැමරේ



‘හොලොවීන්’ හෙවත් ‘මළවුන්ගේ දින සැමරුම’ වෙනුවෙන් විශේෂ උත්සවයක් ඇමෙරිකන් ජනපති මන්දිරය හෙවත් ධවල මන්දිරයේ දී පැවැත්විණි.

ඇමෙරිකානුවන් හොලොවීන් සැමරුම සිදු කරන්නේ සෑම ඔක්තෝබර් 31 වැනිදාය.

හොලොවීන් උත්සවය පැවැත්වූයේ ඇමෙරිකා ජනපති ඩොනල්ඞ් ට්‍රම්ප් සහ ආර්යාව මෙලානියාගේ මූලිකත්වයෙනි. ධවල මන්දිරයේ හොලොවීන් උත්සව පැවැත්වීම ඇමෙරිකානු ජනාධිපතිවරුන්ගේ සම්ප්‍රදායකි. ට්‍රම්ප්ගේ ප්‍රධානත්වයෙන් හොලොවීන් සැමැරුමක් පැවැති පළමු අවස්ථාව මෙය වෙයි.

හොල්මන් අවතාර, මළමිනී, වැම්පයරයන් ලෙස පමණක් නොව ටී රෙක්ස් වර්ගයේ ඩයිනසෝරයකු ලෙසින් ද විකට ඇඳුමින් සැරැසුණු පොඩිත්තන් පෝලිමේ ධවල මන්දිරයට පැමිණි අතර, ඔවුන්ට රසකැවිලි බෙදීම සිදුවූයේ ට්‍රම්ප් සහ මෙලානියාය.

පොඩිත්තන් සමඟ කථා බහ කරමින් ඔවුන්ට රසකැවිලි බෙදා දීම ට්‍රම්ප් යුවලට සතුට ගෙන දෙන්නක් වූ බව මාධ්‍ය වාර්තා කර තිබේ. මෙම අවස්ථාවට ධවල මන්දිර සාමාජික සාමාජිකයෝ ද එක් වී සිටියහ. ඇමෙරිකානු මාධ්‍ය ආයතන නියෝජනය කරමින් මාධ්‍යවේදීන් බොහෝ දෙනෙක් ධවල මන්දිරයට පැමිණ සිටි බව ද වාර්තා වේ.

රස කැවිලි බෙදා දීම සිදුවෙද්දී, මාධ්‍යවේදීන් ට්‍රම්ප්ගෙන් ප්‍රශ්න ඇසීමට උත්සාහ කළ නමුත් මාධ්‍යවේදීන් මඟ හැරීමට ට්‍රම්ප් කටයුතු කළේය.

පසුගිය වසරේ පැවැති ඇමෙරිකානු ජනපතිවරණයේදී, ට්‍රම්ප්ගේ ආධාරකරුවන් ලෙස කටයුතු කළ පෝල් මැනෆ්‍රොස්ට්, රික් ගේට්ස් සහ රොබට් මියුලර් තිදෙනා රුසියානුවන් සමඟ සබඳතා පැවැත්වූයේ යැයි චෝදනා එල්ල වී තිබේ. 

රිපබ්ලිකන් අපේක්ෂක ලෙස ට්‍රම්ප් පසුගිය ජනපතිවරණයෙන් ජයග්‍රහණය කළේ රුසියානුවන්ගේ මැදිහත්වීමක් ජනපතිවරණයට එල්ල වුණු නිසා යැයි චෝදනා එල්ල වී ඇත.

පෝල් මැනෆ්‍රොස්ට් යනු ට්‍රම්ප්ගේ මැතිවරණ කටයුතු බාරව කටයුතු කළ කළමනාකරුය. මොවුන් තිදෙනා එෆ්.බී.අයි. පරීක්ෂකවරුන්ට ව්‍යාජ ප්‍රකාශ ලබා දී ඇති බව ද මේ වනවිට තහවුරු වී තිබේ.මාධ්‍යවේදීන් උත්සහ ගත්තේ මේ සම්බන්ධයෙන් ජනපති ට්‍රම්ප්ගේ අදහස් විමසීමටය.

(ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS