සරණාගත කඳවුරේ දරුවෝ ඕස්ටේ‍්‍රලියාවට



සිරියාවට ගොස් අයි.එස්. හෙවත් ‘ඉස්ලාමික් ස්ටේට්’ ඉස්ලාමීය ත‍්‍රස්ත සංවිධානය සමඟ එක් වී සිටි,  ඕස්ටේ‍්‍රලියා ජාතික මාපියන්ගේ දරුවන් අට දෙනකු යළි  ඕස්ටේ‍්‍රලියාවට ගෙන්වා ගැනීමට එරට අගමැති ස්කොට් මොරිසන් කටයුතු කර ඇත.

ඕස්ටේ‍්‍රලියා අගමැතිවරයා මැදිහත් වී යළි  ඕස්ටේ‍්‍රලියාවට ගෙන්වා ගෙන ඇත්තේ සිරියානු රජයේ හමුදා අත්අඩංගුවේ පත් වී, එරට සහන කඳවුරක සිටි  ඕස්ටේ‍්‍රලියා ජාතික දරුවන් අට දෙනෙකි.

‘මාපියන්ගේ වැරදිවලට දරුවන් දඬුවම් විඳිය යුතු නැහැ’ යැයි  ඕස්ටේ‍්‍රලියා අගමැති ස්කොට් මොරිසන් මාධ්‍ය හමුවේ පවසා ඇත. සිරියාවට ගොස් අයි.එස්. ත‍්‍රස්තවාදීන් සමඟ එක් වුණු  ඕස්ටේ‍්‍රලියා ජාතික මුස්ලිම් වැසියකු වන්නේ කලීද් ෂරෝෆ්ය.

කලීද් ෂරෝෆ් යුද පිටියේ දී මියගොස් ඇත. මොහුගේ දරුවන් තිදෙනකු ද සිරියාවේ සිට යළි  ඕස්ටේ‍්‍රලියාවට ගෙන්වා ගත් දරුවන් අට දෙනා අතර සිටින බව ද වාර්තා වේ. දරුවන් අට දෙනා ගෙන්වා ගැනීම රහස් මෙහෙයුමක් යටතේ සිදු කර ඇත්තේ ජාත්‍යන්තර සහන සේවා සංවිධානවල ද සහාය ඇතිවය.

අද වනවිට සිරියාවේ සහ ඉරාකයේ අණසක පැතිරූ අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත‍්‍රස්ත සංවිධානය අඩපණ වී ඇත. මෙම ත‍්‍රස්ත සංවිධානය ආසියානු කලාපයේ හිස ඔසවමින් සිටින බව පැවැසෙන්නේ, සිරියාවෙන් සහ ඉරාකයෙන් ලැබූ පරාජය හමුවේය.

අයි.එස්. ත‍්‍රස්තවාදීන් සිරියාවේත් ඉරාකයෙත් ඔවුන් විසින් අල්ලා ගනු ලැබූ පළාත් එක් කරමින්, ඉස්ලාමීය රාජ්‍යයක් පිහිටුවා ගනිද්දී,  ඕස්ටේ‍්‍රලියාව ඇතුළු ලොව රටවල් රැසක මුස්ලිම් වැසියෝ සිරියාවට ගොස් අයි.එස්. සංවිධානයට එක් වූහ. ඇතුමුන් සිරියාවට ගියේ පවුල් පිටිනි. 

විදෙස් මුස්ලිම් තරුණ තරුණියෝ අයි.එස්. සංවිධානයට එක් වී එකිනෙකා සමඟ විවාහ වූහ. ඔවුන්ට උපන් දරුවන් ද අද සිරියාවේත් ඉරාකයේත් බන්ධනාගාර සහ සරණාගත කඳවුරුවල වාසය කරති. මෙම දරුවන්ට උප්පැන්න සහතික පවා නැති බව පැවැසෙයි.

මෙල්බර්න්හිදීය (ඒ.එෆ්.පී.)

 


RECOMMEND POSTS