මිලියන දෙකක් සෞදියේ



මිලියන දෙකකට වැඩි මුස්ලිම් ජාතිකයන් පිරිසක් සෞදි අරාබියේ හජ් වන්දනාව ආරම්භ කර ඇත.

ලොව පූරා සෑම ආකාරයකම මුස්ලිම් ජාතිකයෝ තම ජීවිතයේ එක් අවස්ථාවකදී හෝ හජ් වන්දනාවේ යෙදෙති. මූල්‍යමය වශයෙන් සහ කායික වශයෙන් හැකියාව තිබෙන සෑම මුස්ලිම් ජාතිකයකුම දින පහක් මුළුල්ලේ පැවැත්වෙන හජ් වන්දනාවට සහභාගි වේ. 

හජ් වන්දනාව ආරම්භ කරමින් වන්දනාකරුවෝ ඉරිදා (19) මක්කමට නුදුරින් පිහිටි මිනා නිම්නයට එක්රැුස් වූහ.

මක්කම උෂ්ණත්වය සෙල්සියස් අංශක 40ට ආසන්න අගයක පවතින සමයක වන්දනාකරුවෝ එසේ ආගමික වතාවත්වල යෙදෙති.

මිනා නිම්නයට එක්වූ වන්දනාකරුවෝ අරෆත් කන්දේදීත් මක්කමදීත් ආගමික පුද පූජාවල නිරත වෙති.  
පිරිමි තම සිරුර ආවරණය වන පරිදි සුදු පැහැති  නොමසන ලද ඇඳුමක් අඳින අතර එය ‘ඉහ්රම්’ යනුවෙන් හඳුන්වයි. කාන්තාවෝ සැහැල්ලූ සුදුසු ඇඳුමකින් සැරසෙති.

මේ සමයේදී වන්දනාකරුවන්ට හිස කේ කැපීමට, සුවඳ විලවුන් හෝ ආලේපන හෝ සහ ලිංගික කි‍්‍රයාකරකම්වල වීම සුදුසු නොවේ. පුද පූජා අවසන් වන්නේ පිරිමි තම හිස සම්පූර්ණයෙන් භූ ගෑමෙන් පසුය.
ඉස්ලාම් දහමේ ප‍්‍රධාන උත්සව දෙකෙන් එකක් වන ඊද් අල්-අද්හා උත්සවය ද හජ් වන්දනා සමයේදී සැමරෙන අතර එහිදි බැටළුවකු, එළුවකු හෝ ගවයකු හෝ බිල්ලට දීමක් ද සිදු කෙරේ.

පසුගිය වසර 25ක කාලයේදී මිලියන 54කට වැඩි පිරිසක් හජ් වන්දනාවේ යෙදී ඇතැයි නිල දත්ත වාර්තා සඳහන් කරයි.

මේ දක්වා කාලයේදී ජාත්‍යන්තර සහ අභ්‍යන්තර ගුවන් යානා 14,000කට වැඩි සංඛ්‍යාවක් වන්දනාකරුවන් ප‍්‍රවාහනයට යොදාගෙන තිබෙන අතර බස් රථ 21,000කට වැඩි සංඛ්‍යාවක් යොදාගෙන ඇත.
හජ් වන්දනාව සංවිධානය කිරීම සහ එය කළමනාකරණය සම්බන්ධයෙන් පසුගිය වසර කිහිපයේදී සෞදි අරාබියට විවිධ චෝදනා එල්ල විය. ආරක්ෂාව සම්බන්ධයෙන් ද සම්බන්ධයෙන් ද විවිධ චෝදනා එල්ල විය. සෞදි අරාබියේ දේශපාලන ප‍්‍රතිවාදීන් විශේෂයෙන් ඔවුන්ගෙන් අසල්වාසීන්ගෙන් එලෙස චෝදනා එල්ල වී තිබේ.

වසර 2015 දී මක්කම මහ පල්ලියේදී දොඹකරයක් කඩා වැටීමෙන් 111 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ.
එම වසරේදීම මිනාහි සිදු වූ තෙරපීමකින් 2,000කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත්වූහ. එහෙත් නිල මරණ ගණන 767ක් යැයි සෞදි අරාබිය සඳහන් කළේය.

ඊට පසු වසරේදී තෙරපීම් හේතුවෙන් 464 දෙනකු ජීවිතක්ෂයට පත්වූ බව ඉරාන සඳහන් කළ අතර ඒ හේතුවෙන් ඊට විරෝධය දක්වමින් ඉරාන රජය එරට වැසියන්ට හජ් වන්දනාවේ යෙදීම තහනම් කරන ලදි.
එහෙත් ඊට පසු වසරේදී ඉරාන ජාතිකයන්ට හජ් වන්දනාවේ යෙදීමට අවසර ලබාදෙන ලදි.

හර්ෂණ තුෂාර සිල්වා
අල් ජසීරා ඇසුරිනි


RECOMMEND POSTS