නිවාස ඉදිකිරීම නීතිවිරෝධී නෑ



ඊශ්‍රායලය, බටහිර ඉවුරේ පලස්තීනුවන්ට අයත් ඉඩම් බලෙන් අල්ලා ගනිමින්, යුදෙව් නිවාස ඉදි කිරීම නීතිවිරෝධී නොවන බව ඇමෙරිකාව පවසයි. ට්‍රම්ප් පරිපාලනය වෙනුවෙන් මෙසේ පවසා ඇත්තේ, ඇමෙරිකා රාජ්‍ය ලේකම් මයික් පොම්පේඕ ය.

ඊශ්‍රායලය බටහිර ඉවුරේ ඉදි කළ යුදෙව් නිවාස ජාත්‍යන්තර නීති උල්ලංඝනය කිරීමක් නොවන බව ද ඇමෙරිකා රාජ්‍ය ලේකම්වරයා අවධාරණය කර තිබේ.

පලස්තීනුවන් වෙසෙන බටහිර ඉවුරේ ඉඩම් බලෙන් අත්පත් කර ගැනීම ඊශ්‍රායලය විසින් සිදු කරනු ලැබුවේ 1967 අරාබි ඊශ්‍රායල යුද්ධයේදීය.

ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්ට පෙර, ඇමෙරිකාවේ සියලු ජනාධිපතිවරුන් පෙන්වා දුන්නේ, ඊශ්‍රායලය පලස්තීනුවන්ට අයත් බටහිර ඉවුරේ යුදෙව් ජනාවාස පිහිටුවීම ජාත්‍යන්තර නීති උල්ලංඝනය කිරීමක් බවය.

ට්‍රම්ප් පරිපාලනය සැමවිටම ඊශ්‍රායලයට වාසි වන අයුරින් කටයුතු කරයි. ජෙරුසලම ඊශ්‍රායලයේ අගනුවර ලෙස පිළිගැනීමට පවා ජනපති ට්‍රම්ප් කටයුතු කළේය. ට්‍රම්ප් පරිපාලනය මේ අයුරින්, ඊශ්‍රායලයට පක්ෂපාතී වීම, ඊශ්‍රායල පලස්තීන අර්බුදය උත්සන්න කිරීමට හේතුවක් වී ඇත.

වොෂින්ටනයේදීය (ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS