තුර්කි භාණ්ඩ ප්‍රවාහන යානයක් කිරිගිස්තානයේ ගමකට කඩා වැටේ



 

තුර්කියට අයත් භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් කිරිගිස්තානයේ ගම්මානයකට කඩා වැටීමෙන් තිස් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. තුවාල ලැබූ ගණන 15 කි.


ගුවන් යානය තුර්කියේ ඉස්තාන්බුල් සිට කිරිගිස්තානයේ බිෂ්කෙක් නුවර බලා පැමිණ ඇති අතර, එය කඩා වැටී ඇත්තේ බිෂ්කෙක් ප්‍රධාන ගුවන්තොටුපොළට ගොඩ බෑමට සැරැසෙද්දී ඩෂා සූ නමැති ගම්මානයටය.


යානය කඩා වැටී ඇත්තේ උදෑසන 7.30 ට පමණ යැයි ද වාර්තා වේ. එම අවස්ථාවේ ඝන මීදුම් තත්ත්වයක් පැවැති බව ද කිරිගිස්තාන ගුවන් ගමන් බලධාරීහු පවසති.

අනතුර සිදුවුණු අයුරු ගැන කඩිනමින් පරීක්ෂණයක් පවත්වන බවත් තුර්කි බලධාරීන් ඊට හවුල් කර ගන්නා බවත් කිරිගිස්තාන රජය පවසා ඇත. 


කඩා වැටී ඇත්තේ බෝයිං 747 වර්ගයේ යානයකි. යානයේ නියමුව්නට අමතරව පස් දෙනෙක් සිට ඇත. ඔවුහු සැවොම ද ජීවිතක්ෂයට පත්වූහ. 


මියගිය සෙසු පිරිස ගම්මානයේ නිවාස තුළ සිටි පිරිස්ය. කාන්තාවන් සහ කුඩා දරුවන් ද ඒ අතර සිටින බව පැවැසෙයි. 
ඩෂා සූ ගම්මානයේ නිවාස 15 ක් මුළුමනින්ම විනාශ විණි. සුන්බුන් ඉවත් කරමින් ඒවා තුළ සිරවූවන් බේරා ගැනීමට සහන සේවකයන්ට විශාල පරිශ්‍රමයක් දැරීමට සිදුවිය.

(රොයිටර්)


RECOMMEND POSTS