ඉරානයේ කොරෝනා දරුණුයි



චීනයෙන් පිට ඉරානයේ ‘කෝවිඞ් 19’ වයිරසය දරුණු ලෙස ව්‍යාප්ත වෙයි. අද (10) වනවිට ඉරානයෙන් හමුවුණු කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 8,042 කි.

කොරෝනා මරණ සංඛ්‍යාව 291 කි. ඉරාන රජයේ ජ්‍යෙෂ්ඨ සාමාජික සාමාජිකයන් කිහිප දෙනකුට කොරෝනා වයිරසය ආසාදනය වී ඇත. විදෙස් මාධ්‍ය වාර්තා අනුව, ඉරාන පාර්ලිමේන්තුවෙන් සියයට 8 කට කොරෝනා වයිරසය ආසාදනය වී ඇත.

වයිරසය ව්‍යාප්තවීම වැළැක්වීමේ අරමුණින් පල්ලිවල පැවැත්වෙන දේවමෙහෙයයන් නැවැත්වීමට ඉරාන රජය මෙතෙක් කිසිදු පියවරක් ගෙන නැත. එහෙයින්, වයිරසය වේගයෙන් පැතිර යන බවට ද ඉරාන රජයට චෝදනා එල්ල වී ඇත.

මෙසේ චෝදනා එල්ල කර ඇත්තේ, ඉරාන රජයේ දැඩි මර්දනයට ලක්වුණු විපක්ෂ දේශපාලන කණ්ඩායම්ය. විපක්ෂ දේශපාලන කණ්ඩායම් චෝදනා කර ඇත්තේ ඉරානයේ කොරෝනා ආසාදිතයන් සහ මරණ සංඛ්‍යාව ඉහළ අගයක් ගන්නා බවත්, ඉරාන රජය එය වසං කරන බවත්ය.

වයිරසය වේගයෙන් ව්‍යාප්තවීමත් සමඟ ඉරානයේ දෛනික කටයුතු අඩපණ වී අවසන් යැයි ද පැවැසෙයි. පසුගිය පෙබරවාරි 23 වැනිදා සිට ඉරානයේ පාසල්, විශ්ව විද්‍යාල සහ අධ්‍යාපනික ආයතන සියල්ල වසා දමා තිබේ. ඊට අමතරව සිනමා ශාලා සහ සංස්කෘතික මධ්‍යස්ථාන ද වසා දැමීමට ඉරාන බලධාරීන් පියවර ගෙන ඇත.

පොදු බස් රථ, බස් රථ නැවැතුම්පොළ, දුම්රිය සහ දුම්රිය නැවැතුම්පෙළෙ, කුලී රථ ආදිය දෛනිකව සනීපාරක්ෂක දියර යොදා පිරිසුදු කරන බව පැවැසෙයි. සෞඛ්‍ය බලධාරීන්ගේ සහායට ඉරාන රජය හමුදාව යොදවා ඇත. පිරිසුදුව සිටින ලෙසත් නිතරම දෑත් පිරිසුදුව තබා ගන්නා ලෙසත් ඉරාන අයතුල්ලා අලී කොමේනී උපදෙස් ලබා දී තිබේ.

(අල් ජසීරා)

 


RECOMMEND POSTS