අවසන් කටයුතු රාජ්‍ය ගෞරව සහිතව



ඊජිප්තුවේ අභාවප්‍රාප්ත හිටපු ජනාධිපති හොස්නි මුබාරක්ගේ අවසන් කටයුතු රාජ්‍ය ගෞරව සහිතව කයිරෝ අගනුවරදී ඊයේ (27) සිදුවිය.

වත්මන් ඊජිප්තු ජනාධිපති අබ්දුල් ෆාටා අල් සීසී ද හොස්නි මුබාරක්ගේ පුතුන් දෙදෙනා සමඟ දේහය රැගත් අවමංගල පෙරහරට එක් වී සිටියේය. මුබාරක්ගේ අභාවය හේතුවෙන් ඊජිප්තුවේ තෙදින ශෝක කාලයක් ද ප්‍රකාශයට පත් කර ඇතැයි වාර්තා වේ.

පසුගිය වසර කීපයේ අයහපත් සෞඛ්‍ය තත්ත්වයකින් පසුවුණු හොස්නි මුබාරක් මියයනවිට 91 හැවිරිදි වියෙහි පසුවිය. හොස්නි මුබාරක් වසර 30 ක් ඊජිප්තුව පාලනය කළේය.

මුබාරක්ගේ පාලනය ඒකාධිපති ස්වරූපයක් ගැනීමත් සමඟ 2011 වසරේ පැවැති ජනතා විරෝධතා හේතුවෙන්, ඔහුට ධුරය අතහැරීමට සිදුවිය. ඉන්පසු චෝදනා රැසක් මුල්කොට ගනිමින්, වසර 6 ක් පුරාවට මුබාරක් බන්ධනාගාරගතව හෝ බන්ධනාගාර රෝහලේ කාලය ගත කළේය.

2012 වසරේ දී විරෝධතාකරුවන් මරා දැමීමට අණ දුන්නැයි යන චෝදනාවලට මුබාරක්ට ජීවිතාන්ත සිර දඬුවමක් නියම විය. මුබාරක් එම තීන්දුව සම්බන්ධයෙන් අභියාචනයක් ඉදිරිපත් කළ අතර, එයින් ඔහු නිදහස ලැබුවේය. මහජන මුදල් පෞද්ගලික පරිහරණයට යොදා ගැනීම සම්බන්ධයෙන් ද මුබාරක්ට තෙවරසක සිර දඬුවම් නියම විය. එම චෝදනාවලින් ද මුබාරක් නිදහස ලැබුවේය.

දිගු කලක් තිස්සේ රෝගීව සිටි මුබාරක් පසුගිය දා සැත්කමකට භාජන වූ බවත්, කයිරෝ අගනුවර මහ රෝහලේ සිදුවුණු එම සැත්කමින්  පසු මුබාරක් දිවියෙන් සමුගත් බවත් ඊජිප්තු පුවත් සේවා වාර්තා කළේය.

කයිරෝහිදීය (රොයිටර්)


RECOMMEND POSTS