12,000 ක් පලා ගිහින්



සිරියානු රජයේ හමුදා ඉදිරියට පැමිණීමත් සමඟ සිවිල් වැසියින් 12,000කට ආසන්න පිරිසක් ප්‍රදේශය අත්හැර පලාගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

සිරියාවේ ඩැමැස්කස් අගනුවර ආසන්නයේ පිහිටි නැගෙනහිර ගූථා ප්‍රදේශයට අඛණ්ඩව ගුවන් ප්‍රහාර එල්ල කරන අතරවාරයේදී සිරියානු හමුදා ගොඩබිමින් ද ප්‍රහාර එල්ල කිරීම සඳහා එම ප්‍රදේශය වෙත ළගා වෙමින් සිටී. පසුගිය මාසයකට ආසන්න කාලයේදී දිගින් දිගටම ගුවන් ප්‍රහාර එල්ල වීමත් සිරියානු රජයේ හමුදා භූමියේ ප්‍රහාරයකට සූදානම් වීමත් සමඟ තමන් අත තිබෙන සියල්ලත් රැගෙන සිවිල් වැසියෝ ප්‍රදේශය අත්හැර පලා යමින් සිටිති.

මෙම සිදුවීම් අතරවාරයේදී ආහාර, ඖෂධ ආදී ආධාර රැගත් ලොරි රථ 25ක් ඩූමා නගරයට සේන්දු විය. නැගෙනහිර ගූථා ප්‍රදේශයේ සිටින 390,000කට ආසන්න ජනතාව දරුණු ආහාර හා වෛද්‍ය සැපයුම් හිඟයකට මුහුණා පා ඇතැයි රතු කුරුස සංවිධානයේ ජාත්‍යන්තර කමිටුව සඳහන් කළේය.

සිරියානු සිවිල් යුද්ධය මේ වනවිට එහි අටවැනි වසරට එළැඹී තිබෙන අතර මෙතෙක් ගැටුම් හේතුවෙන් 350,000කට වැඩි සංඛ්‍යාවකට ජීවිත අහිමි කර තිබේ. මිලියන 1.5කට ආසන්න පිරිසක් පූර්ණ ආබාධිත තත්ත්වයට  බවට පත්ව සිටිති. තවත් මිලියන 11කට ආසන්න සංඛ්‍යාවක් සිරියාව තුළත් ඉන් පිටතත් උන්හිටි තැන් අහිමිව සිටිති.

පෙබරවාරි 18 වැනිදා සිට සිරියානු රජයේ නැගෙනහිර ගූථා ප්‍රදේශයට එල්ල කරන ප්‍රහාරවලින් 1,100කට ආසන්න පිරිසක් ජීවිතක්ෂයට පත්ව තිබෙන අතර කුඩා දරුවෝ ද ඒ අතර වෙති.

හර්ෂණ තුෂාර සිල්වා


RECOMMEND POSTS