ඩයිනසෝරයන් කෑ කිඹුල් රජා



ඩයිනසෝර ලොවේ රජු ලෙස සැළකෙන ටී රෙක්ස් ඩයිනසෝරයකුගේ මෙන් තිබුණු දත් ඇති, මීටර් 7 ක් (අඩි 24 ක්) දිග කිඹුල් රජෙක් මිහිමත වාසය කළ බවත්, මේ දැවැන්ත විලෝපිකයාගේ නිවහන වූයේ අතීතයේ ජුරාසික යුගයට අයත් මැඩගස්කරය බවත්, එදා මේ සත්වයාට සමාන කළ හැකි වෙනත් විලෝපිකයකු මැඩගස්කරයේ නොසිටි බවත් නවතම අධ්‍යනයකින් අනාවරණය වී ඇත.

අතීතයේ, අද අප මැඩගස්කරය යනුවෙන් හඳුන්වන දූපත ගොඞ්වානා නමැති දැවැන්ත මහද්වීපයේ දකුණු දෙසට සම්බන්ධ වී, එහි කොටසක් වී තිබුණි.

වර්තමානයේ අප දකින කිඹුලන් මෙන් නොව, උන්ගේ මෙම ආදීතම මුතුන්මිත්තා ගාත්‍රා හතරෙන් පහසුවෙන් ගමන් කළ බවත්, ශාක භක්ෂක සෝරපෝඞ් ඩයිනසෝරයන් ගොදුරු කරගත් බවත් මේ වනවිට අනාවරණය වී ඇත.

මේ කිඹුල් යෝධයා අයත් වන්නේ විද්‍යාඥයන් විසින් ‘නොටෝසුචියා’ යන නමින් නම් කළ පවුලටය. මේ කිඹුල් යෝධයා ගැන තොරතුරු අනාවරණය වීමට පෙර, ‘නොටෝසුචියා’ පවුලේ සාමාජිකයන් ගැන විද්‍යාඥයන් වැඩි විස්තර දැන නොසිටි බව ද පැවැසෙයි. දැන් ‘නොටෝසුචියා’ සාමාජිකයන් පරිණාමය වූයේ කෙසේදැයි යන්න ගැන පැහැදිලි අවබෝධයක් විද්‍යාඥයන්ට ලැබී ඇත.

‘නොටෝසුචියා’ උරග පවුල සම්බන්ධයෙන් නවතම අධ්‍යනය සිදුකළෝ ප්‍රංශ සහ ඉතාලි ජාතික විද්‍යාඥයෝය. ඔවුන්ට නායකත්වය දුන්නේ ඉතාලියේ මිලාන් නුවර ස්වභාව විද්‍යා කෞතුකාගාරයේ විද්‍යාඥ කණ්ඩායම යැයි පැවැසෙයි. අවුරුදු මිලියන ගණනක කාල පරිච්ඡේදයක් ඇතුළත ‘නොටෝසුචියා’ පවුලේ පරිණාමය සම්බන්ධයෙන් පැවැති අඩු ලුහුඬුකම් පිරවීමට අවශ්‍ය තොරතුරු විද්‍යාඥයන් විසින් සොයා ගනු ලැබ තිබේ යැයි වාර්තා වේ.

පොසිල සාක්ෂිවලින් හමුවුණු මෙම කිඹුල් රජාගේ හකු ශක්තිමත් මෙන්ම ප්‍රමාණයෙන් විශාල විය. උල් දත් ටී රෙක්ස් ඩයිනසෝරයකුගේ මෙනි. ඒවා ඉතා තියුණුය. හැඩයෙන් ද ටී රෙක්ස් ඩයිනසෝරයකුගේ දත් වලට සමානය.

විද්‍යාඥයන් මෙම විස්තර සොයා ගත්තේ පොසිලකරණයට ලක් වුණු කිඹුල් යෝධයාගේ දත් පරීක්ෂණවලට භාජන කිරීමෙනි. දත් ගෙවී ගොස් ඇති ආකාරය අනුව සහ අස්ථි පිහිටීම අනුව ද තොරතුරු රැස් කර ගැනුනේ නව තාක්ෂණයේ ද සහාය ඇතිවය.

විද්‍යාඥයන් පැහැදිලි කරන්නේ ‘නොටෝසුචියා’ සාමාජිකයන් ගොදුරු අල්ලා ගත් විලෝපිකය් පමණක් නොව, මළසතුන් ආහාරයට ගත් කසල භක්ෂකයකු ද වන බවය. ‘නොටෝසුචියා’ පවුලේ තොරතුරු ලොවට හෙළි කර ගැනීමට හැකි වුණු කිඹුල් රජාගේ සත්ව විද්‍යාත්මක නාමය ‘රසනාන්ඩ්‍රොන්ගෝබ් සැකලාවී’ වෙයි. නම දිග වැඩි නිසා විද්‍යාඥයන් කෙටියෙන් ඌ හඳුන්වන්නේ ‘රසානා’ කියාය.

‘රසනාන්ඩ්‍රොන්ගෝබ් සැකලාවී’ යන්නෙහි අර්ථය වන්නේ ‘සැකල්ලාවා පළාතේ වාසය කළ යෝධ උරග මිතුන්මිත්තා’ යන්නය. මිලාන් නුවර ස්වභාව විද්‍යා කෞතුකාගාරයේ විද්‍යාඥ කණ්ඩායමට සම්බන්ධ ක්‍රිස්ටියානෝ දාල් සාසෝ පෙන්වා දෙන්නේ, මධ්‍යම ජුරාසික් යුගයේ ජීවත් වුණු දැවැන්තතම මාංශභක්ෂක සත්වයා ‘රසනාන්ඩ්‍රොන්ගෝබ් සැකලාවී’ විය හැකි බවය. ‘මේ සත්වයාගේ හකුවලට සමාන කළ හැකි හකු ඇති වෙන සත්වයකු අපට මෙම අවදියේ දී හමුවී නැහැ. හකු ශක්තිමත් වුණාට කෙටියි. හරියට අද අප දකින ඇමෙරිකාවට පමණක් ආවේණික ඇලිගේටර් කිඹුලෙකුගේ වගේ. මේ සත්වයාගේ දත් ටී රෙක්ස් වැනි ගාත්‍රා දෙකෙන් ඇවිද්ද ඩයිනසෝරයින්ට බෙහෙවින් සමානයි.

ඬේලිමේල් ඇසුරිනි

 


RECOMMEND POSTS