මේ කාන්තාවන්ට ඉක්මනින් පිහිටක් වෙන්න



සෞදි අරාබියේ නැගෙනහිර කලාපයේ එක්තරා සුපිරි රෝහලක සේවය කරමින් සිටින ශ්‍රී ලාංකික කාන්තාවන් සහ පිරිමින්  සැලකිය යුතු ප්‍රමාණයකට  අත් වී ඇති ඉරණම වෙනුවෙන් ශ්‍රී ලංකා රජය වහාම මැදිහත් විය යුතු බව එම රෝහලෙහි අසරණව ඇති කාන්තාවන් පවසයි.

මිට වසරක පමණ කාලයක සිට කඩා වැටීමකට ලක්ව ඇති මෙම රෝහලෙහි වසර දහයකට වැඩියෙන් රැකියාවල නියුතු විවිද තරාතිරම් වලට අයත් ශ්‍රී ලාංකිකයින් විශාල ප්‍රමාණයක් සේවයේ යෙදුනද මේ වනවිට මාස අටක පමණ කිසිදු වැටුපක් නොලබමින් බලාපොරොත්තු රහිතව සිටින මොවුන් කිසිදු පිළිසරණක් නොමැතිව කිහිප වරක්ම තානාපති කාර්යාලයේ පැමිණිලි කරනු දැක ගන්නට ලැබිණ.

තානාපති කාර්යාලය වෙත පැමිණ නම් ගම හෙළි කිරීමට අකමැතිවූ ශ්‍රී ලාංකික කාන්තාවන් කිහිප දෙනෙකුම පැවසුවේ මේ වනවිට මාස අටක පමණ වැටුපක් ලැබීමට නියමිතව තිබුනත් රෝහල් බලධාරීන් පවසනුයේ වැටුප් ගෙවීම පිලිබදව කිසිදු වගකීමක් තමන්ට මෙතෙක් පැවරී නොමැති බවයි.ආහාර සහ අනිකුත් පහසුකම්ද මේ වනවිට බොහෝ දුරට කප්පාදු කර ඇති අතර කැමති අයෙකුට ඕනෑම ආයතනයක රැකියාවක් සදහා මාරුවීම් ලබා ගත හැකි බව බලධාරීන් පවසන බවත් මෙම කාන්තාවන් පවසයි.

මෙම කාන්තාවන් හට ලැබියයුතු සේවය අවසන් කිරීමේ ප්‍රතිලාබ පිලිබදව බලාපොරොත්තු අතහැර දා ඇති මුත් වසර ගණනාවක් මෙම රෝහලේ රැකියාව කලද  අවම වශයෙන් මවුබිමට යාම සදහා ගුවන් ටිකට් පතවත් ලබා දීමට රෝහල් බලධාරීන් පියවර නොගන්නා බවද වැඩිදුරටත් පවසයි.සියලුම කාන්තාවන් විදේශසේවා නියුක්ති  කාර්යාංශයේ ලියාපදිංචි වී ඇති නමුත් තමන් මුහුණපා ඇති තත්වය පිලිබදව රියාද් ශ්‍රී ලංකා තානාපති කාර්යාලය නිහඩ පිළිවෙතක් අනුගමනය කරන බවයි.මේ අතර මෙම අසරණව ඇති කාන්තාවන් පවසනුයේ සෞදි අරාබියානු නීති සහ රෙගුලාසි මත ආයතනයට එරෙහිව කිසිදු නීතිමය පියවරක් ගැනීමට තමන් ඇතුළු සියලු විදේශිකයින් කටයුතු කිරීමට බියක් දක්වන බවයි.

වසර ගණනාවක් පුරාවට තම රටට විශාල විදෙස් විනිමයක් උපයා දෙමින් මවුබිමේ ආර්ථිකයට ශක්තියක් ලබා දුන් මෙම කාන්තාවන් අවසන් වශයෙන් ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලා සිටිනුයේ ලැබියයුතු ප්‍රතිලාබ නොමැතිව හෝ මව්බිමට යාම සදහා ගුවන් ටිකට් පත හෝ ලබා දීමට කටයුතු කරන ලෙසයි.

අවශ්‍ය නම් මෙම ලියුම් කරුගෙන් එහි සේවය කරන ශ්‍රී ලාංකිකයන් සම්බන්ද කර දිය හැක.

ලලිත් ප්‍රේමලාල්
සෞදි අරාබියේ සිට


RECOMMEND POSTS