කටාරයේ නිදහස සැමරේ



කටාර් රාජ්‍යයේ ශ්‍රී ලංකා ප්‍රජාව පසුගිය 4 වැනිදා ඔවුන්ගේ 70 වැනි නිදහස අභිමානවත් ආකාරයෙන් සැමරුවේ යැයි ‘ද පෙනින්සියුලා’ පුවත්පත වාර්තා කරයි.

සිංහ කොඩිය ඔසවමින්, සැමරුම් උත්සවය ඇරැඹුණේ කටාර්හි පැරැණි ගුවන්තොටුපොළ පරිශ්‍රයේදීය. දැඩි සීත කාලගුණයක් පැවැතියත්, කටාර්හි සියින ශ්‍රී ලාංකිකයෝ බොහෝ දෙනෙක් එම සැමැරුම් උත්සවයට සහභාගී වූහ.

ශ්‍රී ලංකා කටාර් තානාපති ඒඑස්පී ලියනගේ මහතාගේ ප්‍රධානත්වයෙන් සැමැරුම් උත්සවය පැවැත්වුණු අතර ශ්‍රී ලංකා ජාතික ධජය එසවීමත්, ජාතික ගීය ගායනයත් එහිදී සිදුවිය.

සැමරුමට රැස්වුණු පිරිස, මිනිත්තු දෙකක නිහඬව සිටිමින් කුරිරු ත්‍රස්තවාදය තුරන් කිරීමෙහිලා දිවි පරදුවට තැබූ වීරෝධාර රණවිරුවන් සිහිපත් කළහ. ඉන්පසු ආගමික වතාවත් සිදු කෙරුණි.

එම අවස්ථාවේදී නිදහස වෙනුවෙන් ශ්‍රී ලංකා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ පණිවුඩය ඉන් අනතුරුව ප්‍රකාශයට පත් කරන ලදී. එම නිදහස් පණිවුඩයේ මෙසේ සඳහන් විය.

‘ශ්‍රී ලාංකීක අපි අද (4 වැනිදා) දශක හතක අභිමානවත් නිදහස සමරන්නෙමු. රටක් වශයෙන් අප ඉදිරියට ආ ගමන් මඟ සැමවිටම අප සිහියේ තබා ගත යුතු වෙයි. සමාජීය, ආර්ථික සහ දේශපාලන වෙනස්වීම් මෙන්ම අභියෝග ජයගෙන අප පැමිණි ගමන් මඟ ප්‍රසංශනීයයි’
‘සැබෑ නිදහස යනු දේශපාලනික වශයෙන් අප ලබන නිදහස පමණක් නොවෙයි. අපේ නිදහස සර්ව සම්පූර්ණ වන්නේ අප ආර්ථික වශයෙන් සහ සංස්කෘතික වශයෙන් නිදහස ලබද්දීය. ආර්ථික නිදහස කරා යන ගමන අතිශය වැදගත් වෙයි. රටක් වශයෙන් අප ඉදිරියට යා යුතු වන්නේ අතීතයෙන් පාඩම් ඉගෙන ගෙන, අතීතයේ සිදුවුණු වැරැදි නිවැරැදි කර ගනිමිනි.’ යනුවෙන් ජනාධිපතිතුමාගේ නිදහස් පණිවුඩයේ වැඩි දුරටත් සඳහන් විය.

ඉන්පසු ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ විදේශ ඇමැති තිලක් මාරපන මහතාගේ නිදහස් දින පණිවුඩය ද රැස්ව සිටි පිරිස හමුවට ඉදිරිපත් කරනු ලැබුණි.

ශ්‍රී ලංකා කටාර් තානාපති ඒඑස්පී ලියනගේ මහතා ඉන්පසු රැස්ව සිටි පිරිස ඇමැතුවේය. ‘ඔබ සැම පසුගිය වසර කිහිපය පුරාවට හෝ දශක කිහිපය පුරාවට මෙහි රැඳී සිටිනවා. එය ඔබ සැමට ශක්තියක් වූවා සේම, ඔබගේ දායකත්වය විදෙස් සංචිත ඉහළ යෑමට මහෝපකාරී වෙනවා. මාතෘභූමියේ විනියම අනුපාතය යහපත් තත්ත්වයට පත් වෙනවා. ශ්‍රී ලංකාවේ සංවර්ධනයට ඔබ සැම ලොකු ශක්තියක්.’

‘කටාර් රාජ්‍යයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සැමවිටම හැකි සෑම සහයෝගයක් ලබා දෙනවා, මොන විදියේ ගැටලුවක් මතුවුණත් මේ රටේ නීතිරීතිවලට අනුව, අප අප වැසියන්ට පිහිට වෙනවා. ශ්‍රී ලංකාවත් කටාර් රාජ්‍යයත් අතර ද්වීපාර්ශ්වික සබඳතා තර කර ගැනීම නිරන්තරයෙන් සිදු වෙනවා. වෙළෙඳ, ආර්ථික සහ ක්ෂේත්‍ර ගණනාවක් හරහා එම කටයුතු සිදුවෙනවා’ යැයි ශ්‍රී ලංකා කටාර් තානාපති ඒඑස්පී ලියනගේ මහතා අදහස් දක්වා සිටියේය.

(ද පෙනින්සියුලා ඇසුරිනි)


RECOMMEND POSTS