ප්‍රාසැක් සමාගමේ කොටස් කුක්මින් බැංකුව වෙත



කාම්බෝජයේ විශාලතම ක්ෂුද්‍ර මූල්‍ය සමාගමක් වන ‘ප්‍රාසැක් (පී.ආර්.ඒ.එස්.ඒ.සී)’ සමාගමේ එල්.ඕ.එල්.සී. සමාගම සතුව තිබූ සියයට 70ක කොටස් දකුණු කොරියාවේ කුක්මින් බැංකුව වෙත ඇමෙරිකානු ඩොලර් මිලියන 603ක (රුපියල් කෝටි 12,000කට අධික මුදලකට) මුදලකට අලෙවි කර ඇත.

දකුණු කොරියාවේ කුක්මින් බැංකුව යනු කොරියාවේ විශාලතම බැංකුව වන අතර ලොව හයවැනි විශාලතම බැංකුව ලෙස ද සැලකේ.

කොටස් විකිණීමට අදාළ ගිවිසුමට එළැඹීම සිදුවූයේ ඉකුත් ජනවාරි මාසයේදීය. අදාළ ගනුදෙනුව තහවුරු කරමින් කාම්බෝජයේ සහ දකුණු කොරියාවේ නියාමක ආයතනවල කාම්බෝජ ජාතික බැංකුවේ සහ දකුණු කොරියාවේ මූල්‍ය සේවා කොමිසමේ අනුමැතිය හිමි වී ඇත.

ඒ අනුව අදාළ ගනුදෙනුවේ පළමු වාරිකය ලෙස ඇමෙරිකානු ඩොලර් මිලියන 422ක් මෙරට එල්.ඕ.එල්.සී. පෞද්ගලික සමාගම වත ලැබී ඇත. ඉතිරි ඇමෙරිකානු ඩොලර් මිලියන 181ක මුදල 2022 වසරේදී ලැබීමට නියමිත යැයි එල්.ඕ.එල්.සී. සමාගම සඳහන් කරයි.

මෙම ගනුදෙනුවේ පසු වටිනාකම හෙවත් පශ්චාත් වටිනාකම ඇමෙරිකානු ඩොලර් මිලියන 862ක් ලෙස අගය කර ඇත.

සමස්ථ ලෝකයම ආර්ථික වශයෙන් පීඩාකාරී තත්වයකට මුහුණදෙන මේ මොහොතේ, මෙම ගනුදෙනුව තුළින් දැවැන්ත විදේශ විනිමයක් ශ්‍රී ලංකාවට ගලා ඒම ඉතා වැදගත් යැයි ද එල්.ඕ.එල්.සී. සමාගම නිකුත් කළ නිවේදනයේ දැක්විණි.

 


RECOMMEND POSTS