ජෝර්දානයේ පෙට්‍රා නටබුන් ජනප්‍රිය කරන්න චීනයේ සහාය



ලෝක උරුමයක් ද වන ජෝර්දානයේ ‘පෙට්‍රා’ පුරාණ නටබුන් විදෙස් සංචාරකයන් අතර වඩාත් ජනප්‍රිය කිරීමට, චීන රජයේත් එරට සංචාරක අමාත්‍යාංශයේත් සහාය ලබා ගන්නා බව ජෝර්දානයේ පෙට්‍රා සංවර්ධන සහ කලාපීය සංචාරක කටයුතු පිළිබඳ අධිකාරියේ සභාපති මොහොම්මද් නවාෆේලේ පවසා ඇත.

ජෝර්දානයේ උරුමය පෙට්‍රා සේම, චීනයේ උරුමය චීන මහා ප්‍රාකාරයයි. මොහොම්මද් නවාෆේලේ වැඩි දුරටත් පවසා ඇත්තේ, මෙම ලෝක උරුම දෙක සන්සන්දනය කරමින් පෙට්‍රා ජනප්‍රිය කිරීමට බලාපොරොත්තු වන බවය.

චීන මහා ප්‍රාකාරය නැරැඹීමට පැමිණෙන සංචාරකයන් පෙට්‍රා ගැන දැනුවත් කිරීමටත්, පෙට්‍රා නැරැඹීමට පැමිණෙන පිරිස් චීන මහා ප්‍රාකාරය ගැන දැනුවත් කිරීමටත්, චීන සංචාරක බලධාරීන් සමඟ එකඟතාවක් ඇතිකර ගැනුණැයි සභාපති මොහොම්මද් නවාෆේලේ වැඩිදුරටත් කියා සිටී.

චීන මහා ප්‍රාකාරය ඉතා සුරක්ෂිතව දකින්න ලැබෙන්නේ චීනයේ ගැන්ෂූ පළාතේ ජියායුගුආන් පළාත ආශ්‍රිතවය.
ජියායුගුආන් පළාත යුනෙස්කෝ ලෝක උරුමයක් ලෙස නම් කෙරුණේ 1987 වසරේදීය. පෙට්‍රා නටබුන් පුරය ලෝක උරුමයක් ලෙස නම් කෙරුණේ  1985 වසරේදීය. රෝස පැහැති හුණුගල්වල ඉදිකළ පෙට්‍රා ‘රෝස නගරය’ නටබුන් වසර 300 කට වඩා පැරැණිය.

හර්ෂණ තුෂාර සිල්වා
ජෝරාදානයේ පෙට්‍රා සිට

 


RECOMMEND POSTS