ඇමෙරිකාවේ දරුවෝත් භාවනා කරති



 

“පස කොපමණ සරු වුවද සකස් කිරීමෙන් තොරව පසෙන් යමක් උපදින්නේ නොවේ. එසේම, සකස් කිරීමකින් තොර මනසකින්ය හපත් ප්‍රතිඵල  පහළවන්නේ නොවේ” සෙනෙකා (ක්‍රිස්තු පූර්ව 05 - ක්‍රිස්තුවර්ෂ 65) රෝම දර්ශනවාදී ග්‍රන්ථකාරයා

 

 

සිත සකස්කොට ගැනීම - භාවනාව - පෙරදිගට අයත් ශික්‍ෂණයකැයි සලකන ලද කාලයක් තිබුණේය. බොහෝ දෙනා සිතාගෙන සිටියේ භාවනාවේ යෙදීම, හුදෙක් බුද්ධාගම, හින්දු භක්තිය වැනි පෙරදිග සමයවාදවල අංගයකැයි කියාය. ලෞකික දර්ශනයන්ට අත්‍යන්තයෙන්ම නැඹුරු වූ බටහිර ලෝකයේ ලෝකායකවාදී සංස්කෘතිවල, සිත ගැන සිතීමේ ගතියක් හෝ සිත හැඩගස්සා ගැනීමේ ප්‍රවනතාවයක් හෝ මුල් බැස ගත්තේ නොවේ.


එහෙත්, අද සිදුවන්නේ කුමක්ද?


මේ දිනවල ලොව පුරා පැතිර යන විස්මය උපදවන ප්‍රවෘත්තියක් වෙයි. ඒ පුවතේ හරය මෙසේය “බටහිර බොහෝ දේශ ඔස්සේ දැවැන්ත ‘භාවනා’ ප්‍රවාහයක් ගලා යන්නට පටන්ගෙන ඇත්තේය”


මේ සිද්ධිය, කොපමණ දැවැන්ත ආධ්‍යාත්මික බලවේගයක් දැයි ඉතා ප්‍රත්‍යක්‍ෂ ලෙස පෙනී යන්නේ ඒ කථාවේ විස්තර සොයා බැලීමෙනි.


අපි අලුත්ම ප්‍රයත්නයෙන් පටන් ගනිමු.


ඇමෙරිකාවෙන් ඇසෙන අලුත්ම භාවනා කථාවට වේදිකාව වන්නේ ළමා පන්තියකි. මේ ළමා පංතිය පිහිටියේ ඇමෙරිකාවේ කෙන්ටකි ජනපදයේ ලුයීවිල් නගරයේයි. එහි “කේන් රන්” නම් ස්ථානයේ ළමා පාසලේ පස්වන පන්තියේ දරුවන් ඉතා උද්‍යෝගීමත් ලෙස භාවනාවේ යෙදෙන හැටි අලුත්ම ප්‍රවෘත්ති සඟරාවක විස්තර වේ.


ඔවුන් එක්ව සිටින පාසල් කාමරයේ ඩෙස්ක් බංකු ඉවත්කොට ඇත්තේය. පැදුරු පේලි හයක් පන්ති කාමරයේ බිම අතුරා තිබේ.

පහන් සියල්ලම පාහේ නිවාදමාලාය. පරිසරය ඉතා සන්සුන්ය. ශබ්ද විකාශන යන්ත්‍රයෙන් ඇසෙන්නේ දිය යටින් නිකුත්වන විදියේ හඬකි. පාවහන් ගලවාලූ දරුවෝ, පැදුරේ වාඩි වී සිටිති. දරුවන් ඉන්නේ, දෑස් පියාගෙනයි. පන්තිභාර ආචාර්යවරිය දරුවන්ට උපදෙස් දෙන්නීය. ආචාර්යවරිය කියා දෙන්නේ සිත සැනසෙන අභ්‍යාසයකි. ආචාර්යවරිය මෙසේ කියන්නීය.


“හොඳට, හොඳට දිග හුස්මක් ගන්න”


එතැන් පටන් විනාඩි 45 ක්, ඒ දරුවන්ට සිහිය පිහිටුවා ගන්නට තුඩුදෙන, භාවනා පෙළක් කියාදෙනු ලැබේ. මේ සිහිය පිහිටුවා ගැනීමේ භාවනාව යැයි ඔවුන් විසින් හඳුන්වනු ලබන්නේ ශ්‍රී ලංකාවේ අපට ශතවර්ෂ ගණනක් මුලුල්ලේ සුපුරුදු “ ආනාපාන සති” ක්‍රමයයි. මේ ආනාපාන සති භාවනාව උගන්වන පන්තියට, දරුවන් සතියකට දෙවරක් සහභාගී විය යුතුවේ. බාලාංශ පන්තියේ සිට ඉහළ පන්ති දක්වා ළමෝ, මේ භාවනාක්‍රම පුරුදු කළ යුතුවෙති. මේ ආනාපාන සතිය, දරුවන්ට පුහුණු කිරීමේ ව්‍යාපාරය ඇමෙරිකාවේ ඉතා ප්‍රබලය. දරුවන්ගේ සිත් එකඟ කරනු පිණිසත්, ඔවුන්ගේ චර්යා රටා යහපත් කරනු පිණිසත්, ඔවුන්ගේ ශාස්ත්‍රීය ශක්තිය වර්ධනය කරනු පිණිසත් මේ භාවනා ක්‍රමය උපයෝගී කරගනු ලැබේ. දරුවන්ට භාවනාව උගන්වනු ලබන්නේ. 


“මෛත්‍රීපූර්වක පාඨශාලා ව්‍යාපෘතිය” නම් ක්‍රියාදාමය යටතේයි. දරුවන් අනුන් කෙරේ දක්වන සානුකම්පිත බව දියුණුකිරීමද මේ භාවනා ව්‍යාපෘතියේ අරමුණකි. සතිය පිහිටුවාලීමේ භාවනාව නිසා දරුවන්ගේ කාරුණික බව, නින්දේ සුවපහසු බව පමණක් නොව ගණිත ලකුණු ප්‍රමාණයද දියුණු වූ බව ප්‍රත්‍යක්‍ෂවී ඇත්තේය.


පර්යේෂණවලින් හෙළි වී තිබෙන්නේ වයස හතර තරම් බාලවියේ දරුවන්ගේ පවා දක්ෂතා සහ මානව ගුණදහම් ආනාපාන සති භාවනාව නිසා වර්ධනය වන බවයි.


ආචාර්ය වෘත්තියේ සිටින පිරිසක් මේ ආනාපාන සති භාවනා ක්‍රමයට පුහුණු වූ විට අධ්‍යාපන කාර්ය රටාවේ ප්‍රතිඵල ද උසස් තලයකට පත් වූ බව පර්යේෂකයෝ පවසති.


දරුවන්ගේ අවධානය දියුණුවීම ඔවුන් අනුන් කෙරේ දක්වා කාරුණික භාවය වඩාත් ඉහළ තත්ත්වයකට පත්වීම, ශාස්ත්‍රීය ඥනයෙන් වර්ධනය වීම ආදී ප්‍රබල ප්‍රතිඵල නිසා බොහෝ දෙනා මේ ආනාපාන සති ක්‍රමය කෙරේ පැහැදෙති. එහෙත්, ඒ දේශයේ ඇතැම් අය විසින් පවසන ලද දුක්ගැනවිල්ලක් නම් මේ භාවනා ක්‍රමය විසින්, ආගමක් උගන්වන බවයි. ඒ ආගම බුද්ධාගමයි. මක්නිසාදයත්, ආනාපාන සති භාවනාව බුදුසමය හා ආශ්‍රිත ආධ්‍යාත්මික ශික්‍ෂණයක් හෙයිනි. එහෙත් බොහෝ විද්‍යාඥයන් එයට පිළිතුරු වශයෙන් පවසන්නේ තමන් උගන්වන්නේ ආගමක් නොව, දරුවන්ට සිය අවධාන ශක්තිය දියුණුකොටගැනීමේ උසස් මාර්ගයක් බවයි.


ආනාපාන සති භාවනාව, ලොව හැමතැනකම දරුවන්ට - කොටින්ම, මුළු මහත් මානව වංශයටම එකසේ ප්‍රයෝජනවත් බව, ලෝකයේ ප්‍රධාන පෙළේ විද්‍යාඥයන් බොහෝ දෙනෙකුගේ විශ්වාසයයි.


දරුවන් අනාපාන සති භාවනාවට හුරුපුරුදු වී එය නිසි සේ පිළිපදින්නට පටන්ගත්විට, ඉන් උද්ගතවන ආශ්චර්යවත් මිනිස් ගුණ සමුදාය, මුළු මහත් මානව සමාජය තුළම විසිර යන්නේය. ඒ ගුණ - යහපත්කම් මිනිස් දිවි පෙවෙතට ඇතුළු වන්නේය. ඈත බලාගෙන ගියවිට, මෙහි ප්‍රධාන ප්‍රතිඵලය නම් හැම මිනිසුන්ටම සුහද සහජීවනයෙන් එකට වාසය කළහැකි ජගත් ව්‍යාප්ත වාසස්ථානයක්, අනාගත මිනිසාට ලබාගත හැකිවීමයි. කුඩා දරුවන්ට ආනාපාන සති භාවනාව පුරුදුවීම නිසා හටගන්නා ප්‍රතිඵල මානව ප්‍රගතිය - මනෝවිද්‍යාඥයන් විසින් ඉතා පැහැදිලි ලෙස ප්‍රකාශකොට ඇත්තේය. ආනාපාන සතිය පුරුදු කරන කුඩා භාවනානු යෝගීහු. ඒ වයසේ සෙසු දරුවන්ට වඩා හොඳින් හැසිරෙති. ඔවූහු අකීකරු නැත. වඩාත් ආදරය දිනති. ඔවුන්ගේ ගණිත කුසලතාවය දියුණු වේ. ඔවුන්ගේ අවධාන ශක්තිය දියුණු වේ. එවැනි දරුවන්ට සිත් කළකිරීම් අඩුය.


කුඩා දරුවන් පාලනය කොටගත නොහැකි, ආචාර්යවරුන්ට මේ පුවත යහපත්ය. ආනාපාන සතිය භාවනා කරන දරුවෝ කීකරුය.
මේ ප්‍රතිඵල ගෙනහැර දක්වනු ලබන්නේ මනෝවිද්‍යාව පිළිබඳ ප්‍රකාශන විසිනි.


මෙතෙක් අප කථාකළේ දරුවන් ගැනයි. 


ආනාපාන සති භාවනාවේ යෙදෙන වැඩිහිටි අයගේ “ප්‍රාතිහාර්යමය” දියුණුව පිළිබඳ වාර්තා, ඇදහිය නොහෙන තරම් පුදුමයි.
ලෝකයේ ඉතාම දියුණු ආර්ථිකය සතු දේශය වශයෙනුත්, ලෞකික යසඉසුරෙන් සුපිරි රට වශයෙනුත්, බොහෝදෙනා විසින් සළකනු ලබන ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍යය මුලුල්ලේ අද ආනාපාන සති භාවනාව ශීඝ්‍ර ලෙස පැතිරෙයි.


ආතතිය, චිත්ත අවිවේකීතාවය, නොසන්සුන් බව වැනි අපහසුතාවලින් පෙළෙන, ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍යවාසීන්, ආනාපාන සති භාවනා ක්‍රමය වඩන්නේ, ඉන් ලැබෙන මහඟු ප්‍රතිඵල ඉතා පැහැදිලි ලෙස දැනෙන පෙනෙන නිසාය. යන්ත්‍ර  - සුත්‍ර කෙරේ, විද්‍යුත් සබඳතා කෙරේ විශ්වාසය තබාගෙන, ඉවසිල්ලෙන් තොර, අසහනකාරී ජීවන චර්යාවකට පුරුදු වූ ඒ මහාදේශයේ බොහොදෙනා, ආනාපාන සති භාවනාවෙන් අපූරු මානසික සහනයක් විඳ ගනිති.


යහපත් සෞඛ්‍යයත්, චිත්ත සුවයත් පිළිබඳ රහස, අනාපාන සති භාවනාව බව, අද - මේ මොහොතේත් ඇමෙරිකානු ජාතිකයන් ලක්ෂ සංඛ්‍යාවක් විසින් අවබෝධ කරගනු ලැබේ. 


ඇමෙරිකාව ඇතුළු නවීන ලෝකයට, මේ සනාතනික ආනාපාන සති භාවනාවේ “හාස්කම”, උගන්වන අද යුගයේ සෘෂිවරයා නම් යොන් කබාක්සිං නම් විද්‍යාඥයායි. ඔහු විසින් සම්පාදිත භාවනා පාඨමාලාව නම් කෙරෙන්නේ. “මයින්ඞ්ෆුල්නස් බේස්ඞ් ස්ටේ‍රස් රිඩක්ෂන්” ක්‍රමය වශයෙනි (තේරුම: සතිපට්ඨානය පදනම් කොටගත් ආතතිය දුරුකිරීමේ ක්‍රමය)


මේ ක්‍රමය උගන්වමින් භාවනාව ආදී පුරුදු කියාදෙන සහතික පත්‍ර ලාභී ආචාර්යවරු දහසක් පමණ අද සිටිති. ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍යයේ ජනපද පණහේම පාහේ, මේ ආචාර්යවරු ආනාපාන සතිය කියාදෙති. දැනට ලෝකයේ රටවල් තිහක තරම මේ ආනාපාන සති භාවනා ක්‍රමය ප්‍රචලිතව පවති.


මේ ආනාපාන සති භාවනා ක්‍රමයෙන් අද යුගයේ මිනිසුන්ට පුරුදු කරන්නේ, එක් අරමුණකට සිත් යොමු කොට ගෙන සිටීමේ ක්‍රමයයි. අද යුගයේ මිනිසාගේ මනස එකවර දහසක් දේවලට ඇදෙන්නේය. මේ කඩින් කඩවී, විසිරීගොස් තිබෙන මනස එක ලක්ෂයකට, යොමුකොට තබා ගන්නා ආකාරය, මේ ආනාපාන සති භාවනාව විසින් දැක්වෙන මූලික ක්‍රියාමාර්ගයකි. ආතතිය දුරුකිරීමේ මඟ ආනාපාන සති භාවනාවයි.


ආනාපාන සති භාවනාවෙන් උගන්වනු ලබන අප කරන - කියන හැම එකක්ම, එළඹි සිහියෙන් - සති පට්ඨානයෙන් යුක්තව කරන කියන ක්‍රමයයි.


අපගේ අවධානය ඒ මේ අත විසුරුවාලන දේවල් හා සිද්ධි එන්ට එන්ටම බහුලවේ. මෙසේ හැම මොහොතේම අපගේ සන්තානයට “පහරදෙන” විවිධ දේවලින් බේරිගෙන, සිත එක අරමුණකට යොමුකරන එකම මාර්ගය “ආනාපාන සති” භාවනාවයි. 


විසිඑක්වන ශතවර්ෂයේ, ආතතීන්ට, මානසික විඩාවට මුහුණ දෙන්නට, නවීනයන් පුහුණු කරන මේ ආනාපාන සති භාවනා ක්‍රමය මෙයට අවුරුදු 2600ක පෙර බුදුහිමියන් විසින් සකල ලෝක වාසීන්ටම තිළිණකොට වදාළ දිව්‍යමය බෙහෙතකි.


එහෙත්, මේ නවීන ආනාපාන සති ක්‍රමය ලොවට බෙදා දෙන කබාක් සිං මෙය බුදුදහමෙන් ආගත බව කියා දෙන්නට වෙහෙස නොගනී. මක්නිසාදයත් මෙය එක් ආගමකට අයත් ක්‍රමයකැයි සිතා ඉන් ලද හැකි ආශ්චර්යමත් පෞද්ගලික ප්‍රතිඵල ලබා ගැනීමට මැළිවිය හැකි හෙයිනි.


මේ නව ආනාපාන සති භාවනාව කොපමණ පෘථුල ලෙස භාවිත කෙරේදයත් ෆේස්බුක්, ට්විටර්, ඉන්ස්ටග්‍රෑම් ආදී දැවැන්ත මාධ්‍ය ආයතනවල කෘත්‍ය විධායක නියෝජිතයෝ පවා නව ආනාපාන සති භාවනාව ගැන, එහි සමාරම්භක කබාක් සිංගේ දේශනවලට සහභාගී වෙති.


කබාක් සිං, හැත්තෑ දෙහැවිරිදිය. ඔහු ආනාපාන සති භාවනාවට යොමු වූයේ සෙන් පූජකවරයාණන් වහන්සේ කෙනෙකුගේ දේශනාවකට ඇහුම්කන් දීමෙනි. මිනිසුන්ගේ වේදනා දුරුකිරීම පිණිස බුදුසමය පදනම් කොටගත් ක්‍රමයක් භාවිත කිරීමේ වරද කුමක්දැයි ඔහු විමසන්නේය.
         
ආනාපාන සති භාවනාවේ ප්‍රත්‍යක්‍ෂ ප්‍රතිඵල ගැන තියුණු අවධානය යොමුකළ ඇමෙරිකාවේ ඕහයෝ ජනපදයේ නියෝජිත උභය මන්ත්‍රණ සභාවේ ඩිමොක්‍රැටික් පාක්‍ෂික මන්ත්‍රීවරයෙකු වන ටිම්රයන්, මේ ආනාපාන සති භාවනාව පිළිබඳව කෙරෙන පර්යේෂණ උදෙසා මධ්‍යම ආණ්ඩුවෙන් මුදල් වෙන් කරවාගන්නට ක්‍රම යොදන්නේය.


මේ මන්ත්‍රීවරයා කබාක් සිංගේ භාවනා පන්තියකට සහභාගිවී, තමා සතු බුද්ධිමය ජංගම දුරකථන යන්ත්‍ර දෙක ඉවත්කොට, පෑ තිස්හයක් නිහඬව සිටියේය. ඉන් ලද ආධ්‍යාත්මික සහනය නිසා, ඒ මහතා කබාක් සිං භාවනාවේදියාට කීවේ මේ භාවනා ක්‍රමය අපගේ (ඇමෙරිකාවේ) පාසල්වලට සහ අපගේ (ඇමෙරිකාවේ) සෞඛ්‍ය සංරක්ෂක ආයතනවලටත් ගෙන යා යුතු බවයි. මේ මහතාගේ අනුග්‍රහයෙන්, ඇමෙරිකාවේ උභය මන්ත්‍රණ සභා මන්ත්‍රීවරුන්ට හා ඔවුන්ගේ නිලධාරීන්ටත් ආනාපාන සති භාවනා ක්‍රමය පිළිබඳ දේශන පවත්වන ලදී.


එලිසබෙත් ස්ටැන්ලි මහාචාර්යවරිය, හමුදා නිලධාරීන්ටත්, මේ ක්‍රමය උගන්වන්නට උත්සුක වූවාය.


මෙසේ, අද ලොව ඉතාම ප්‍රබල වශයෙන් “ආනාපාන සති” භාවනාව කෙරේ යොමුවී සිටි.


ලෝකය අතිශය මවිතකරන ආකාරයෙන්, අද යුගයේ ප්‍රධාන පෙළේ වෛද්‍ය විද්‍යාඥයෝත්, වෛද්‍යවරුන් මේ ආනාපාන භාවනාව සතු චිකිත්සක ශක්තිය ඉතා ව්‍යක්ත ලෙස දක්වා සිටිති.


ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍යයේ ඇරිසෝනා විශ්වවිද්‍යාලයේ ඒකාබද්ධ වෛද්‍ය විද්‍යා ආයතනයේ සමාරම්භක වෛද්‍ය ඇන්ඩෘ වේල් නම් වෛද්‍ය විශේෂඥයා මේ ආනාපාන භාවනාව සතු මහා චිකිත්සක බලය ගැන මෙසේ කියා සිටී. ආනාපාන ක්‍රමය වැනි අති සරළ ක්‍රියාවක්, මේසා පෘථුල ලෙස සිරුර කෙරෙහි බලපාන ආකාරය පර්යේෂකයන්ට සිතා ගන්නටත් බැරිය.


ආනාපාන සති භාවනා අභ්‍යාසය සතු බලය නම් රුධිර පීඩනය පාලනය කොට ගත හැකි වීම, හෘද ස්පන්දන වේගය නිසි පමණට දියුණු කිරීම අධිවේගී බව අඩු කිරීම ආදියයි. 


දැඩි හෘදයාබාධවලින් පෙළෙන රෝගීන් සඳහා භාවිත කළ හැකි චිකිත්සක ක්‍රමයක් වශයෙන් ආනාපාන සති භාවනා ක්‍රමය අනුමත කළ හැක.


වෛද්‍ය මහාචාර්ය දුසියානෝ බර්නාඞ් කියා සිටී” මෙවැනි සුළු ක්‍රමයක, ප්‍රතිඵල ප්‍රාතිහාර්යමය ලක්ෂණ සහිතයැයි ඒ විශේෂඥයා පවසන්නේය.


කිසි වියදමකින් තොරව, තමාම සතු සරල ක්‍රියාදාමයක් මේ සා මහගු දිව්‍යමය චිකිත්සක ක්‍රමයක් බව, බුදුහිමියන් සියවස් විසිහයකට පෙර සොයා ගැනීම, මානව සංහතියට උදා වූ කොයි තරම් භාග්‍යක්ද? මෙය එදා මෙන්ම මේ විසිඑක්වන සියවසටත් මතු යුගයන්ටත් එකාකාරයෙන්ම බල පාන්නේය.


මේ පුදුම ආනාපාන සති භාවනාව නිසා කෙනෙකුට, සාමාන්‍ය ප්‍රමාණයට වැඩියෙන් අම්ලකර වායුව ආශ්වාසය කළහැකි බවද විද්‍යාඥයෝ ප්‍රකාශ කරති. නින්ද නොයන අයට, මෙය ප්‍රතිඵලදායි චිකිත්සාවක් බවත් විද්‍යාඥ මතයයි. 


සකළ ලෝවාසීන් විසින්ම අද ශීඝ්‍ර වේගයෙන් අවබෝධ කරගනිමින් සිටින බලයක් සහිත ආනාපාන සති ක්‍රමය. අපට මිහිඳු මහරහතන් වහන්සේගෙන් ලැබුණු මහා නිධානයකි. අපට එය ලැබුණේ මෙයට අවුරුදු 2250 කට පෙරදීය.


එහෙත්, අප එය නිසිසේ භාවිත කළාද? අප විසින් ඉතා ඕනෑකමින් විමසා සිටිය යුතු ප්‍රධාන පන්තියේ ප්‍රශ්නයකි. අපි මේ ආනාපාන සති ක්‍රමයේ ප්‍රාතිහාර්ය ගුණය දැන ගත්තේ ඇමෙරිකාවෙනි.


හැම වයසකම අයට මේ බෞද්ධ නිධානය බෙදා දිය යුතු කාලය, අද වැඩියක්ම අවශ්‍ය වී තිබේ. මක්නිසාද ආතතිය, ක්‍රෝධය, වෛරය, නපුරුකම් වැනි දේ අද සමාජයේ ඉතා ශීඝ්‍ර වේගයෙන් පැතිරී යන හෙයිනි.


ඇමෙරිකාව බෞද්ධ භාවනාව සොයා ගත්තේය. 


අපි ඔවුන්ගෙන් එහි ප්‍රාතිහාර්මය බලය උගනිමු.


මෙහිදී කථාවක් මතක් වේ.


ඒ මෙසේය.

පැරණි පෝලන්තයේ එක් ගමක උග්‍ර වෘත ප්‍රගුණ කළ තපස්වරයෙක් සිටියේය. ඔහුට දින හතක්ම එක හීනයක් පෙනුණේය. ඒ හීනයෙන් පෙනුණේ, නගරයේ මහ වාසලක දොරටු පාලකයෙකු වෙත මහානිධානයක් තිබෙන බවයි. තවුසා වුවද “කාසි” යැයි කී විට පෙළඹුණේය (ගල් පිළිමයක් පවා “කාසි, කාසි” යැයි කී විට හිස සොලවන බව කථාවක කියවේ) තවුසා, දොරටු පාලකයා හමු වී තම හීනය කීවේය.

දොරටුපාලයා, මහ හඬින් සිනාසුණේය. ඔහු මෙසේ කීයේය? “තවුසාණෙනි, මාත් ඔය විදියේම හීනයක් දැක්කා. එහි පෙනුනේ ගම්මානයක සිටින තවුසෙකුගේ ආසනය යට මහා නිධානයක් තිබෙන බවයි.


ඒ තවුසා මම වෙමි” යි කියූ තාපසයා පෙරලා ගම්මානයට ගොස් සිය අසපුව යට තිබුණු නිධානය පාදා ගත්තේය.


බුදු සමයේ උරුමකරුවන් වන අපිත් එසේ වෙමු. අවුරුදු 2500 ක් අප සතුව තිබුණු ආනාපාන සතිය නමැති දිව්‍යමය භාවනා ක්‍රමය අප සොයා ගන්නේ ඇමෙරිකාවේ විද්‍යාඥයන්ගේ ආධාරයෙනි.


RECOMMEND POSTS